IPL කිරුළ කොල්කටා නයිට් රයිඩර්ස් අතට

IPL කිරුළ කොල්කටා නයිට් රයිඩර්ස් අතට

මෙවර IPL තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ චෙන්නායිහි එම්. ඒ චිදම්බරම් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලබා දුන් ලකුණු 113ක ඉලක්කය පන්දුවාර 10.3ක දී කඩුලු 2ක් පමණක් දැවී පහසුවෙන් පසු කර යමින්.

කාසියේ වාසිය දිනාගනිමින් පළමුවෙන්ම පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18.3 අවසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 113ක් රැස් කර ගත්තේය.

මේ තරගයේ හයිද්‍රාබාද් ඉනිම වාර්තා අතරට එක් වූයේ අයිපීඑල් අවසන් තරගයකදී කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසිනි.

කොල්කටා පිළිතුරු ඉනිමේ දෙවැනි පන්දු වාරයේදි පළමු කඩුල්ල ලෙස සුනිල් නරේන් (6) මුළු ලකුණු 11දී දැවී ගිය ද රහ්මනුල්ලා ගුර්බාස් සමඟ දෙවැනි කඩුල්ලට එක්වූ වෙන්කටේෂ් අයියර් පන්දු 45කින් ලකුණු 91ක සබඳතාවක් ගොඩනඟමින් කොල්කටා පිල ජයග්‍රාහි මාවතට රැගෙන ගියේය.

මුළු ලකුණු 102දී ගුරුබාස් දැවී යෑමෙන් එම සබඳතාව නිමා වූ අතර, ඒ වන විට කොල්කටා පිලට ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ ලකුණු 12ක් පමණි.

ගුර්බාස් පන්දු 32කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 39කි. වේගවත් පිතිහරඹයක නිරත වූ වෙන්කටේස් නොදැවී ලකුණු 52ක් රැස් කළේ පන්දු 26කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟිනි. නායක ශ්‍රේයාස් අයියර් නොදැවී ලකුණු 6ක් රැස් කළේය.

මෙවර ශූරයන් වූ කොල්කටා පිලට ඉන්දීය රුපියල් කෝටි 20ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 72ක්) හිමි වූ අතර, අනුශූර හයිද්‍රාබාද් පිලට රුපියල් කෝටි 13ක් හිමි විය.

COMMENTS