රාජ්‍ය මූල්‍ය කළමණාකරන පනත ලබන 22 වනදා පාර්ලිමේන්තුවට

රාජ්‍ය මූල්‍ය කළමණාකරන පනත ලබන 22 වනදා පාර්ලිමේන්තුවට

මෙතෙක් පැවති රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ලිහිල් බව හා අඩුපාඩු සියල්ල සම්පූර්ණ කරමින් රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත ලබන 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ 1935 වසරේ සිට මෙරට රාජ්‍ය මූල්‍ය, මුදල් නියෝග මගින් පාලනය වූ බවත්, 1966 දී මෙම මුදල් නියෝග මුදල් රෙගුලාසි බවටත් පත් වී පසුව එම මුදල් රෙගුලාසි 1992 වසරේදී සංශෝධනය වූ බවයි.

2003 වසරේදී ගෙනා රාජ්‍ය මූල්‍ය වගකීම් පනත ආදිය මගින් රාජ්‍ය මූල්‍ය කලමනාකරණය විධිමත් කිරීමට විවිධ උත්සාහයන් දැරුවද, රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් සියළු පැතිකඩ ආවරණය වන කේන්ද්‍රීය පනතක් මෙතෙක් කලක් නොතිබූ බව සඳහන් කළ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව ආදී ආයතන දිගින් දිගමට කරුණු පෙන්වා දුන් බවද සඳහන් කළා.

එමෙන්ම 2022 වසරේදී ඇතිවූ මූල්‍ය අර්බුදයට පැවති මූල්‍ය නීතිවල ලිහිල්භාවය බලපෑ බව බොහෝ පිරිස් පෙන්වා දුන් බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඒ අනුව කරුණු සියල්ල ඒකරාශී වූ නව ලෝකයට ගැලපෙන්නා වූ ශක්තිමත් මූල්‍ය පනතක අවශ්‍යතාවය සපුරාලමින් මෙම පනත ගෙන එන බවයි පෙන්වාදුන්නේ.

පසුගිය අරගල, උද්ඝෝෂණ ආදියේදී ඉල්ලා සිටි ප්‍රධාන කාරණාවක් මෙන්ම සමාජයේ බොහෝ පිරිස්ද රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් ඒ අනුව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියළු දෙනා 22 වන දින ගෙන එන මෙම පනතත් මීට පෙර ඉදිරිපත් කරනු ලැබූ දූෂණ විරෝධි පනතත් හොඳින් අධය්‍යනය කර බලන ලෙස තමන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

COMMENTS