අධි රුධිර පීඩනය ගැන භයානක අනාවරණයක්

අධි රුධිර පීඩනය ගැන භයානක අනාවරණයක්

ලෝක අධි රුධිර පීඩන දිනය අදට (17) යෙදී තිබෙනවා.

සෞඛ්‍ය අංශ පවසන්නේ, ලුණු භාවිතය අධික වීම හේතුවෙන් රෝගී තත්ත්වයේ ඉහළ යාමක් වාර්තා වන බවයි.

අධි රුධිර පීඩනය නමැති රෝගී තත්ත්වය නිහඬ මාරයෙකු ලෙසින් හඳුන්වන අතර එහි විශේෂත්වය වන්නේ ප්‍රධාන රෝග ලක්ෂණ මුල් අවස්ථාවේදී පුද්ගල ශරීරයෙන් හඳුනාගත නොහැකිවීමයි.

රෝග ලක්ෂණ මතුවන අවස්ථාව වනවිට රෝගය පාලනය කළ නොහැකි මට්ටමට උග්‍ර වී ඇති බවත් හෘදය,මොළය සහ අක්ෂිවලට බරපතළ ලෙස හානි වී අවසන් බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

හිසරදය, කැරකැවිල්ල, ඇස් පෙනීම බොඳවීම, පපුවේ මහන්සිය, නාසයෙන් ලේ ගැලීම අධි රුධිර පීඩනයේ ප්‍රධාන රෝග ලක්ෂණයි.

අධික ලුණු භාවිතය මෙම රෝගයට ප්‍රධාන හේතු කාරකය ලෙස මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයෙකුට නිර්දේශ කර ඇත්තේ, ලුණු ග්‍රෑම් 5ක ප්‍රමාණයක් වුවත්, මෙම ප්‍රමාණය ඉක්මවා ග්‍රෑම් 14.2ක් පමණ මෙරට පුද්ගලයෙකු භාවිතයට ගන්නා බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළා.