සාමාන්‍ය පෙළ සිසුවිය පැහැර ගැනීමේ උත්සාහය වරදී

සාමාන්‍ය පෙළ සිසුවිය පැහැර ගැනීමේ උත්සාහය වරදී

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවස බලා යමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගැනීමට උත්සාහ කළ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තරුණයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැහැරගැනීම සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු ක්ෂණිකව 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ අලදෙණිය පොලීසිය වෑන් රථය සහ එම පිරිස පැයක් තුළ අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලීසිය පවසන්නේ එම සැකකරුවන් සිව්දෙනා අතර සිටින එක් අයෙකු මෙම තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් ඔහු විවාහකයෙකු බවත්ය.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හිටපු හමුදා සෙබළෙකු වන එම සැකකරු සිය මිතුරන් සමග වෑන් රථයක් කුලියට ගෙන මෙම පාසල් සිසුවිය පැහැරගැනීම සඳහා පැමිණ තිබෙනවා.

පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළෙකු වන මෙම පාසල් සිසුවියගේ සොහොයුරෙකුගේ නිවසට සැකකාර තරුණයා අවස්ථා කිහිපයකදී පැමිණීමෙන් අනතුරුව මෙම ප්‍රේම සම්බන්ධතාවය ඇතිවී තිබේ.

සැකකරු විවාහක අයෙකු බවට අනාවරණය වීමත් සමග මෙම සිසුවිය ඔහුව අතහැර ඇති අතර සැකකරුගෙන් එල්ලවන බලපෑම් හේතුවෙන් සිසුවියගේ මව්පියන් ඇයව මෙලෙස කුළුගම්මන ප්‍රදේශයේ නිවසක නතරකර ඇත.

එහි සිට ඇය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට යළි නිවස බලා යමින් සිටියදී මෙලෙස සිසුවිය පැහැරගෙන ගොස් තිබේ.

අලදෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.