පිළිකා රෝහලට කෙස් දන් දුන් යුවතියෝ

පිළිකා රෝහලට කෙස් දන් දුන් යුවතියෝ

වෙසක් සතිය වෙනුවෙන් ගලේවෙල, හොම්බාව සුදර්ශනාරාම විහාරස්ථානය සංවිධානය කර තිබූ පින්කම් මාලාවක පෙරේදා (12) පැවැති වැඩසටහනේදී යුවතියන් දහසක් පමණ තම කෙස් වැටිය පිළිකා රෝහලට දන්දීම සිදු කළ බව විහාරාධිකාරි ආදාවල සුමනජෝති හිමියෝ පවසති.

විහාරස්ථානයේ තරුණ බෞද්ධ සංගමය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම විහාරස්ථානයේ වෙසක් සැමරුම් උත්සව මාලාවක් සතියක් පුරා සංවිධානය කර තිබේ. ඒ අනුව පෙරේදා (12) මිනිස් සිරුරේ කොටස් දන්දීම, සර්වාංග රෝග සායනය, වෛද්‍ය සායනය, හිසකෙස් දන්දීම සහ ලේ දන්දීම සංවිධානය කර තිබිණි.

මෙහිදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ලොකු කුඩා සියලු කාන්තාවෝ තම කෙස් වැටිය ඉතා සතුටින් දන් දුන්හ.

කුඩා දියණියන් ද තම කෙස් දන්දීමට පැමිණ සිටි අයුරු දැක ගැනීමට හැකි විය.

හිසකෙස් ගැනීම සහ කැපීම ‘නැණ පහන පදනම’ විසින් සිදු කළ අතර එහි සභාපති ලක්මාල් ගජනායක මහතා ඇතුළු පිරිසක් හිස කෙස් ලබා ගැනීම සිදු කළහ.

එමෙන්ම ඇස් ඇතුළු ශරීරයේ කොටස් දන්දීමට පැමිණි ජනතාව ද දැකගත හැකි විය.

මේ වැඩසටහන සංවිධානය කළ සුදර්ශනාරාම විහාරාධිකාරි ආදාවල සුමනජෝති හිමියන් කියා සිටියේ දින හතක පින්කම් මාලාවක් සංවිධාන කර තිබෙන බවත් තරුණ දරුවන් සමාජ වැරදි ක්‍රියාවලින් මුදා සද්ක්‍රියාවලට යොමු කිරීම අරමුණු කරගෙන වැඩසටහන් සංවිධානකර තිබෙන බවත් ඊට සමගාමීව වෙසක් පොහෝ දින තරුණ තරුණියන් දෙසීයක් පමණ සිල් සමාදන් කරවීමේ උතුම් පින්කමක් සිදු කරන බවත්ය.