පාස්කු ප්‍රහාරයට අදට වසර පහයි

පාස්කු ප්‍රහාරයට අදට වසර පහයි

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීමට වසර පහක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාව පුරා පිහිටි සියලුම කිතුනු දෙව් මැඳුරුවල අද (21දා) ඉරිදා විශේෂ දේව මෙහෙයන් සිදු කෙරේ. කොළඹ කොච්චිකඩේ දෙව්මැඳුරේ පැවැත්වෙන විශේෂිත උත්සවයට විවිධ ආගමික නායකයෝ ද සහභාගි වෙති.

මේ අතර 2019 වසරේ දී මෙම බෝම්බ පිපිරීම් සිදුවූ අදාළ දෙව්මැඳුරුවල අද එම වේලාවේදී (උදෑසන 8.45) මළවුන්ගේ සීනුව නාදය කරනු ඇත. පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර සැමරීම නිමිත්තෙන් අද සිදුකරන ආගමික වැඩසටහන් සඳහා විශේෂ පොලිස් රැකවරණයන් ද යොදවා තිබේ.

මේ අතර මෙම බෝම්බ පිපිරුණ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේ සහ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුරේත්, මඩකලපුව දෙව් මැඳුර්ත් සිදුකරන දේව මෙහෙයන්වලට කිතුනු බැතිමතුන් විශාල පිරිසක් එක්වෙනු ඇතැයි කොළඹ අගරදගුරු මැඳුර සඳහන් කරයි.

‘පාස්කු ප්‍රහාරය පිළිබඳව යුක්තිය ලැබෙනතුරු තවමත් අපි අවදියෙන්’ යන තේමාව යටතේ කොළඹ අගරදගුරු මැඳුර අද (21දා) සංවිධානය කරන ආගමික වැඩසටහනට ඔස්ට්‍රේලියාව සහ ඉතාලිය ද එක්වී සිටින බව මීගමුව කලාප භාර ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා පැවසීය.

ඔස්ට්‍රේලියාවේ කතෝලික රදගුරු සමුළුව සහ ඉතාලියේ රදගුරු සමුළුව මේ කටයුතු සඳහා මැදිහත් වී ඇත. ඒ අනුව ඒ රටවල සිටින දේශීය සහ විදේශීය කිතුනු බැතිමතුන් ශ්‍රී ලංකාවේ සිදුකරන යුක්තිය ඉල්ලන මෙහෙයන්ට ඒ ඒ රටවල සිට සහයෝගය දක්වනු ඇත.