අප්‍රෙල් 24 විවෘත වන උමාඔය

අප්‍රෙල් 24 විවෘත වන උමාඔය

මහවැලි ව්‍යාපාරයට පමණක් දෙවැනි මෙරට දැවැන්ත බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන උමාඔය ව්‍යාපෘතිය අප්‍රෙල් 24 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසිගේ ප්‍රධානත්වයෙන් අදාළ ව්‍යාපෘතිය විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර 2010 වසරේදී නිල වශයෙන් ඇරඹූ ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තු ගත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 514ක්.

මෙගාවොට් 120ක විදුලිය ධාරිතාවක් නිෂ්පාදනය කර ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීමේ ප්‍රධාන අරමුණ සහිතව කෘෂිකර්මාන්තය සහ පානීය ජලය සැපයීම ඇතුළු තවත් කාර්යයන් බොහොමයක් එමගින් සිදු වනවා.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය කොටස් දෙකකින් යුක්ත අතර ජල විදුලිය නිපදවීම මෙහි පළමු කොටසයි.

ඌව වෙල්ලස්සට වාරි ජලය සැපැයීම එහි දෙවන කොටස වනවා.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පළමුව පුහුල්පොල ප්‍රදේශයේ වේල්ලක් ඉදිකර එහි රැස්වන ජලය කිලෝමීටර් 04ක උමං මාර්ගයක් ඔස්සේ ඩයරබා ජලාශයට ගෙන එනු ලබනවා.

එහි ජලය ගබඩා කර කිලෝමීටර් 15.5ක් දිග උමං මාර්ගය ක් ඔස්සේ, ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ භූගතව ටර්බයින් යන්ත්‍ර දෙකක් වෙත ඒවා රැගෙන යන අතර එමගින් මෙගාවොට් 120ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතයි.

පසුව එම ජලය තවත් කිලෝමීටර් 04 ක උමං මාර්ගයක් ඔස්සේ අලිකොට ආර ජලාශය වෙත ගෙන අතර අනතුරුව හඳපානාගල හා කුඩාඔය ජලාශ දක්වා ඒවා රැගෙන යනු ඇති.

දළ වශයෙන් කුඹුරු අක්කර 15,000 කට පමණ යල සහ මහ කන්න දෙකේම ජලය සැපයීම එහි අරමුණයි.

ඌව වෙල්ලස්ස ගොවි බිම් සශ්‍රීක කරමින් බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීමටද උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් හැකියාව සැලසෙනවා.

මේ අතර වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු නිරීක්ෂණය සඳහා ඊයේ එහි සංචාරයක නිරත වුණා.

මේ අතර මෙම විවෘත කිරීම වෙනුවෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මෙරටට පැමිණෙන දිනය සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

COMMENTS