අපරාධ මඩින්න බස්නාහිර පළාත තුළ අලුත් වැඩක්

අපරාධ මඩින්න බස්නාහිර පළාත තුළ අලුත් වැඩක්

බස්නාහිර පළාත තුළ අපරාධ මර්දනය සඳහා නව ආරක්ෂක වැඩපිළිවෙළක් මැයි මස පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් මේ වන විටත් පුහුණු කරමින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.

පසුගිය වසර 3 තුළ බස්නාහිර පළාතේ පොලිස්බල ප්‍රදේශ 25ක ඝීග්‍රයෙන් අපරාධ ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතර පසුගිය වසර තුළ රන් මාල කොල්ලකෑම් 846ක්, ගෙවල් බිදුම් 12,125ක් සහ වාහන සොරකම් 1,748ක් වාර්තාවන බවයි පොලිස් වාර්තා පවසන්නේ.

එය සමස්ත දිවයිනේම සිදුවූ අපරාධ අතරින් ප්‍රතිශතයක් ලෙස 32% ක්.

ඒ අනුව එම අපරාධ මර්දනය සඳහා දිවයිනේම පොලිස් කොට්ඨාසවල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට උපදෙස් ලබාදී ඇත්තේ,පොලිස් ස්ථානවල සිටින නිලධාරීන්ගෙන් 60% ක් ඒ සඳහා යොදවන ලෙසයි.

එහි පළමු පියවර ලෙස බස්නාහිර පළාත තුළ සිටින පොලිස් නිලධාරීන්ට පාපැදි, ටී56 වර්ගයේ ගිනි අවිද සහිතව ලබාදී අදාළ ප්‍රදේශවල සංචාරය කරවීමට නියමිතයි.

එමෙන්ම පාතාල මර්දනය සඳහා යොදවා ඇති පොලිස් කණ්ඩායම් 20ට අමතරව පොලිස්පතිවරයා ඉදිරියේදී නව පොලිස් කණ්ඩායම් 10ක් යෙදවීමටද නියමිතයි.

එම කණ්ඩායම් 10ට අපරාධ කල්ලි සාමාජිකයන් 360කට ආසන්න පිරිසකගේ නාමාවලියක් ලබාදී ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර තවත් 100 දෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග මේ වනවිට විශේෂ පුහුණුවකට යොදවා සිටිනවා.

ඔවුන් සඳහා විශේෂ නිල ඇඳුමක්, යතුරුපැදි සහ ගිනි අවි ද ලබාදීමට නියමිතයි.

අපරාධකරුවන් හඹාගොස් අත්අඩංගුවට ගැනීම ඔවුන්ගේ ඉලක්කය වනු ඇති.

එමෙන්ම කොළඹ නගරය තුළ පොලීසිය නිරීක්ෂණය කරනු ලබන CCTV කැමරා 176ක සංඛ්‍යාව 2000ක් දක්වා වැඩි කිරීමට ද පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික නිවාසවල ඇති cctv ද ඔවුන්ගේ කැමැත්ත පරිදි පොලීසිය මගින් නිරීක්ෂණය කිරීමට කටයුතු කරනු ඇති.