රටින් ගිය IP පිළිබඳ පොලීසියට සැකයක්

රටින් ගිය IP පිළිබඳ පොලීසියට සැකයක්

මේ වනවිට විදේශගතවී සිටින පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා හෙළි කළ මරණ තර්ජන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව මහතා ඒ බව සඳහන් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් තමාට සහ සිය පවුලට එල්ල වූ මරණ තර්ජන හමුවේ විදෙස්ගතවූ බව පැවසීය.

ඔහුට මරණ තර්ජන එල්ල කළ පිරිස අතර කංජිපානි ඉම්රාන්ද සිටින බව සඳහන් වුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැන්වූ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ තර්ජනය කරන අදාළ හඬපට සම්බන්ධයෙන් ද සැක මතුවී ඇති බවය.

නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව මහතා,

“ඒ නිලධාරියා පෙබරවාරි මස 14 වනදා සිට මාර්තු 06 දක්වා විදේශීය නිවාඩු ලබාගෙන තිබෙනවා. විදේශගත වුණාට පස්සේ තමයි ඔහු මෙම තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙන්නේ. මෙම නිලධාරියා කොළඹ අපරාධ කොට්ඨාසය තුළ සේවය කරන කාලය තුළ මෙවැනි තත්ත්වයක් පිළිබඳව අවධාරණය කරමින් දැනුම්දීමක් කරලා නැහැ. ඔහුට මරණ තර්ජනයක් තිබෙන බවට දැනුම්දීලා නැහැ.”

“යම්කිසි අවස්ථාවක යම්කිසි පුද්ගලයෙකු තර්ජනයක් කර තිබෙන බවට තමයි ඔහු වාර්තා කර තිබෙන්නේ… මීට පෙර. කෙසේවෙතත් මෙම තර්ජනය කිරීමේ හඬපට සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී… මෙම නිලධාරියා විදේශගතවීමට නිවාඩු අයදුම් පත්‍රය ඉදිරිපත් කළාට පසුව ලැබුණු හඬපට බවටත් හඳුනගෙන තිබෙනවා.”

“ඒ වගේම මෙම හඬපටවල යම් ආකාරයකට කතා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සැක මතුවෙලා තිබෙනවා. නියම ආකාරයෙන්ම ඒ පුද්ගලයන්මද කතා කරන්නේ කියන දේ පිළිබඳව.”

“ඒ නිසා මේ සියලු කාරණා සම්බන්ධයෙන් අපි පරීක්ෂණයක් කරනවා. මෙය සත්‍ය ලෙසම ඇති වුණු තර්ජනයක් ද? එසේනම් ඇයි එම නිලධාරියා උසස් නිලධාරීන්ට ඒ බව දැනුම් නොදුන්නේ යන්න පිළිබඳව.”

“කෙසේවෙතත් මෙතෙක් අපි පූර්ව නිගමනයකට එළඹිලා නැහැ මෙය නිර්මාණාත්මක දෙයක් ද කියන කාරණය සම්බන්ධයෙන්.”

“මේ සිද්ධිය ගැන සැකයක් තිබෙනවා. මෙය නිර්මාණාත්මක දෙයක් ද? සැලසුම් සහගත දෙයක් ද? කියන දේ සම්බන්ධයෙන්”

“එක දුරකථන ඇමතුමක් අපි හඳුන ගත්තා. ඒ සංවිධානාත්මක අපරාධකරුවෙක් ලබාදුන් ඇමතුමක් නෙමෙයි. ඒ සාමාන්‍ය විමර්ශනයකදී සැකකරුවෙක් ලබාදුන් ඇමතුමක්.”

“නිවාඩු අනුමත කළ කාලසීමාව තුළ එම නිලධාරියා නැවත ලංකාවට නොපැමිණිය හොත් ඔහු සේවය අතහැර ගිය නිලධාරියෙක් ලෙස සලකන්න වෙනවා.” යනුවෙන්

COMMENTS