ජනතාව තවදුරටත් මුලා නොකර විදුලි බිල සියයට 37කින් අඩුකරන්න

ජනතාව තවදුරටත් මුලා නොකර විදුලි බිල සියයට 37කින් අඩුකරන්න

විදුලි ගාස්තුව සියයට 37 කින් අඩු නොකර තවදුරටත් ජනතාව මුලාකිරීමට කටයුතු නොකරන ලෙස විදුලිබල ඇමතිවරයාට මතක් කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා ඊයේ (27) පැවසීය.

ජාතික ජන බලවේගය කොළඹදී ඊයේ (27) පැවැත්වූ මාධ්‍ය හමුවේදී වසන්ත සමරසිංහ එසේ පැවසීය.

විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී ආණ්ඩුව ජනතාවට එරෙහිව තවදුරටත් කටයුතු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ජාතික ජන බලවේගය සහ තවත් සංවිධාන කිහිපයක් මහජන උපයෝගී කොමිසම ඉදිරියේ කරුණු දැක්වීමට අවස්ථාව සලසා ගත් බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පළමුවෙන් සියයට 3.34 කින් පමණක් බිල අඩු කළ හැකි යැයි පැවසූ බවත් ඒ මහතා කීය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී නීති විරෝධීව සියයට 18 කින් විදුලි බිල වැඩිකර අවුරුද්දකට දෙවරක් සංශෝධනය කිරීම අනාගතයටත් බලපාන ලෙස තුන්වරක් සංශෝධනය කළ බව කී ඒ මහතා පැවසුවේ ඔක්තෝබර් මාසයේ තිබුණු ගාස්තුවට නැවත විදුලිබිල ගෙන එන්නේ යැයි ඇමතිවරයා පවසන බවත්ය.

පාරිභෝගිකයා සූරාකමින් ජාවාරම්කාරී අරමුණු වෙනුවෙන් ඇමතිවරයා සහ නිලධාරීන් ක්‍රියාකරන බවත් විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට අලුතින් ඉදිරිපත් කර තිබෙන දත්ත අනුව වියදම බිලියන 93 කින් අඩු කර ඇති බවත් සමරසිංහ මහතා වැඩි දුරටත් කීය.