ගැබ්ගෙල පිළිකා ගැන මෙරටින් අනාවරණයක්

ගැබ්ගෙල පිළිකා ගැන මෙරටින් අනාවරණයක්

ගැබ්ගෙල පිළිකා මෙරට කාන්තාවන් ගොදුරුවන දෙවැනියට සීඝ්‍ර වර්ධනයක් සහිත පිළිකාව ලෙස හදුනාගෙන ඇති අතර ගැබ්ගෙල පිළිකා මුලුමනින්ම මෙරටින් තුරන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් සිදුකළ නියමු ව්‍යාපෘතිය හරහා HPV DNA පරීක්ෂණ හරහා ගැබ්ගෙල පිළිකා කලින් හදුනාගැනීම හා අවම කිරීම සඳහා දිරිගන්වන සුළු ප්‍රතිඵල පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

ගැබ්ගෙල පිළිකාව මෙරට සීඝ්‍රයෙන් ව්‍යාප්තවන දෙවන සුලභ පිළිකාව බවට ද සමීක්ෂණයකින් හෙලිවී තිබෙනවා.

ඒ අනුව වසරකට වාර්තාවන රෝගීන් ගනණ 1407ක් පමණ වන බව ගනණය කර ඇති අතර ගැබ්ගෙල පිළිකාව නිසා වසරකට දිවි අහිමවන පිරිස 780ක් පමණ වන බවයි සොයාගෙන ඇත්තේ.

මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ මෙම රෝග ව්‍යාප්තිය නොසලකා සිටියහොත් මෙරට තුළ 2070 වන විට මරණ 58,754 ක් හා 2120 වනවිට මරණ 115,137 වන බවට පුරෝකථනය කර තිබීමයි.

කළුතර දිස්ත්‍රික්කය පදනම්ව සිදු කළ මෙම සාකච්ඡාව හරහා ගැබ්ගෙල පිළිකාව තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සාකච්ජාවට බදුන් කර ඇති අතර එම සමීක්ෂණය සඳහා කලුතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 35 හා 45 දක්වා වයසේ පසුවන කාන්තාවන් සහභාගී කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම සමීක්ෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්ක හා අරමුණුවලට අදාළව සෞඛ්‍ය කාර්‍යාංශය විසින් සිදුකර ඇති බවද සඳහන්.

සංසන්දනාත්මක විශ්ලේෂණයන් මගින් සොයා ගත් කරුණු අනුව අවුරුදු 35 සිට 45 දක්වා විවාහක කාන්තාවන් උදෙසා වඩාත් ඵලදායි හා සාර්ථකම සොයා ගැනීමේ හැකියාව සහිත පරීක්ෂණයන් වන්නේ Pap smear, LBC හා HPV DNA වැනි පිළිකා කලින් හදුනා ගැනීමේ ක්‍රමවේදයන් බව මෙහිදී තහවුරු කර තිබෙනවා.

සෙසු පර්යේෂණයන්ට වඩා HPV හා DNA කලින් හදුනාගැනීමේ ක්‍රමවේදය ගැබ් ගෙල Cervical Intraepithelial Neoplasia (CIN) හදුනාගැනීමේ අනුපාතය ඉහළ මට්ටමක පවතින බවයි සොයා ගෙන ඇත්තේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත්තේ සෑම අවුරුදු 5 කට 10 කට වරක් නිරතුරුව මෙම හදුනාගැනීමෙ ප්‍රාථමික පර්යේෂණයන්ට ලක්කිරීම මඟින් ගැබ්ගෙල පිළිකාව තුරන් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවයි.

එය HPV- DNA පර්යේෂයණය මඟින් ඕනෑම කාන්තාවකට ගැබ්ගෙල පිළිකා මාරයාගෙන් ගැලවීමට මංපෙත් විවර වනු ඇති බවයි.

එහිදී වෛද්‍ය චිත්‍රමාලී අදහස් දක්වමින් කියා සිටියේ, “ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා සිදු කරන සුවනාරී (Well Women) වැඩසටහන හරහා දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් දීපව්‍යාප්තව සිදුකරන බවත්, ඒ හරහා ප්රජාවගේ දැනුම්වත් භාවය වර්ධනීය තලයකට ඔසවා තැබීමෙන් මෙරට ගැබ්ගෙල් පිළිකා පිළිබඳ දැනුම්වත් භාවය ඇති කිරීම මගින් එය තුරන් කිරීමට ඉවහල් විය හැකි සමාජ කතිකාවත්ක් ගොඩ නැංවීමට අවශ්‍ය පසුබිම සැකසෙන බවයි.

එමෙන්ම HPV- DNA පරීක්ෂාව මගින් වඩා නිවැරදිව හා සාර්ථකව පිළිකාව හඳුනාගැනීමට ඉඩ ප්‍රස්තාව විවරවණ බවත් ය.

මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය පද්මක ද සිල්වා කියා සිටියේ එන්නත් කිරීම් හා රෝග නීර්ණය කිරීමේ මූලික පර්යේෂණ හරහා ගැබ්ගෙල පිළිකා තුරන් කිරීම සඳහා සැලකිවයුතු ප්‍රගතියක් අත්කර ගැනීම මෙහි අරමුණ බවයි.

පළාත් නවයම ආවරණය වන පරිදි මහජන සෞඛ්‍ය ඒකක 354ක, සුවනාරී (Well Women) මධ්‍යස්ථාන 1000 ක පුළුල් ජාලය හරහා ගැබ්ගෙල පිළිකා කලින් හදුනාගැනීම සැලකිව යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා.