ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ – නීතිපති කියයි

ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ – නීතිපති කියයි

පෙත්සම් කිහිපයකට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටීමක් නොකරන බවට නීතිපතිවරයා ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

2022 වසරේ අප්‍රේල් මස 01 වනදා අරගලය පැවැති අවස්ථාවේදී හදිසි නීතිය පනවා ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කොට සමාජ මාධ්‍ය තහනම පනවමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම් ගොනුකර තිබුණි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් 06 ක් පෙරේදා කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මෙම දැනුම්දීම සිදුකර ඇත.

මෙම පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

COMMENTS