බේකරි නිෂ්පාදන ආයතන දහසක් වැසිලා

බේකරි නිෂ්පාදන ආයතන දහසක් වැසිලා

අධික ජල, විදුලි බිල්පත් සහ වැට් බදු හේතුවෙන් රට පුරා පාන් ඇතුලු බේකරි නිෂ්පාදනය කරන ආයතන දහසකට වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එමෙන්ම බේකරි නිෂ්පාදන මිල ඉහළ යාම, බිත්තර මිල ඉහළ යාම සහ පාරිභෝගිකයින් බේකරි නිෂ්පාදන පරිභෝජනයෙන් ඉවත් වීම නිසා බේකරි කර්මාන්තය පසුබෑමකට ලක් වී ඇති බවයි එහි සභාපති එන්.කේ ගුණවර්ධන සදහන් කළේ.

මේ අතර ,පාන් සදහා වන ගැසට් පත්‍රයට අනුව නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළදසැල් 453කට නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකරිය පවසනවා.

පාන් ගෙඩියක තිබිය යුතු බර ග්‍රෑම් 450ක් ලෙසත් ඉන් අඩුවිය හැකි උපරිම බර ප්‍රමාණය ග්‍රෑම් 13යි දශම 05 ක් ලෙස සදහන් කරමින් එම අධිකාරිය පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුනා.

එමෙන්ම, පාන් භාගයක බර ග්‍රෑම් 225ක් විය යුතු අතර අඩුවිය හැකි උපරිම බර ප්‍රමාණය ග්‍රෑම් 09ක් බවද එහි සදහන්.

එලෙස ගැසට් නිවේදනයක් නිකුත් වුවද තවමත් බේකරි අලෙවි සැල් බොහොමයක නියමිත බර ප්‍රමාණය අනුව පාන් අලෙවි නොවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පෙබරවාරි මස 05 වැනිදා සිට 20 වැනිදා දක්වා කාළය තුළ සිදු කළ පරීක්ෂා කිරීමේදී නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළදසැල් 453ක් සොයා ගෙන තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිවේදයක් නිකුත් කරමින් පවසන්නේ එම බේකරි සහ වෙළදසැල්වලට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරමින් සිටින අතර මේ සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් ඇත්නම් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1977 අංකයට අමතා දැනුම් දිය හැකි බවයි.

මේ අතර පාන් පිළිබදව නිකුත් වී ඇති ගැසට් නිවේදනය අනිවාර්යෙන්ම මාර්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කරන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති බේකරි හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනකදි සදහන් කෙරුණා.

මේ අතර මුදල් අමාත්‍යංශය විසින් සැලකිල්ලට නොගත් වෛද්‍ය උපකරණ, ගිලන් රථ , ළමුන් සඳහා අධි ප්‍රෝටීන් කෘෂි ආහාර සහ කෘෂිකාර්මික ද්‍රව්‍ය සදහා වැට් බදු නිදහස් කිරීම නැවැත සලකා බලන ලෙස රජයේ මුදල් පිළිබද කාරක සභාව මුදල් අමාත්‍යංශයට නිර්දේශ කර තිබෙනවා.

COMMENTS