මේ දවස්වල හොඳට වතුර බොන්න

මේ දවස්වල හොඳට වතුර බොන්න

මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය ශරීරයට ඉතා අහිතකර වීමට ඉඩ ඇති බැවින් දිවා කාලයේ හැකි තරම් අව් රශ්මියෙන් ආවරණය වන පරිදි සෙවනේ සිටින ලෙසත් හැකි තරම් ජලය පානය කරන ලෙසත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය පැවසීය.

විශේෂයෙන් අව් රශ්මියේ ගමන් කරන්නේ නම් හිස්වැසුමක් හෝ කුඩයක් භාවිත කරන ලෙසටද අත්‍යවශ්‍ය කාර්යයක් නම් අව් රශ්මියට ඔරොත්තු දෙන ක්‍රීම් වර්ගයක් (sun cream) භාවිත කරන ලෙසට ද ඇය දන්වා සිටින්නීය.

පිපිඤ්ඤා කොමඩු වැනි දෑ නිරන්තර ආහාරයට ගැනීම තුළින්ද ශරීරයට යහපත් බව පෙන්වා දෙන වෛද්‍ය හේමා වීරකෝන් ජලය ටික ටික හෝ දිනයේ වැඩි අවස්ථා ගණනක් අනිවාර්යෙන් පානය කිරීම අත්‍යවශ්‍ය බවද කියයි.

එමෙන්ම මේ දිනවල පාසල්වල සිදු කරන ක්‍රීඩා කටයුතුවලදී දරුවන් තද අව්වේ තැබීම ඉතාමත් අහිතකර බැවින් තද අව්වේ දරුවන් ක්‍රීඩාවන්ගේ යෙදවීමෙන් වරක්වන ලෙසටද ඇයි ඉල්ලා සිටියාය.

පවතින කාලගුණ තත්ත්වය හමුවේ චර්ම රෝගයන්ද පැතිර යන බැවින් අව්ව වැසෙන සේ ඇඳුමක් හෝ අව්රශ්මියට ඔරොත්තු දෙන ක්‍රීම් වර්ගයක් (sun cream ) භාවිත කරන ලෙසට ද ඇය දන්වා සිටියාය.එමෙන්ම බහුලව මුත්‍රා ආශ්‍රිත රෝග වැඩි වශයෙන් මේ තත්ත්වය හමුවේ සිදුවන බවද වෛද්‍යවරිය පැවසුවාය.

මිනිසා විසින් පරිසර දූෂණ අධික ලෙස සිදුකිරීම හේතුවෙන් ඕසෝන් ස්ථර විනාශ වී ඇති බැවින් ශරීරයට සෘජුවම කිරණ වර්ග පතිත වීම මේ තත්ත්වයට හේතුව බවද ඇය කීවාය.

දිවා කාලයේ අව්රශ්මියට නිරාවරණය වී අධික ලෙස වෙහෙස වන කාර්යයන්ගේ නියැළීම තුළින් මෙමඟින් මරණය පවා සිදුවිය හැකි බැවින් අත්‍යවශ්‍යම කාරණා වලදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම උපයෝගී කරගෙන තම කාර්යයන්ගේ නියැලෙන ලෙසටද වෛද්‍යවරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

COMMENTS