රජයේ පාසල්වලින් ජල ගාස්තු අය කිරීමේ චක්‍ර ලේඛයක්

රජයේ පාසල්වලින් ජල ගාස්තු අය කිරීමේ චක්‍ර ලේඛයක්

පසුගිය මාසයේ සිට රජයේ පාසල්වලින් ජල ගාස්තු අය කරන බව සඳහන් කරමින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙතෙක් පාසල්වලින් ජල ගාස්තුවක් අය නොකෙරුණු අතර සිසුන් වෙනුවෙන් නොමිලේ ජලය ලබාදීම සිදුකෙරුණා.

මසකට දින 20ක් පාසල් පැවැත්වෙන බවට උපකල්පනය කර සිසුන්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ එක් අයෙකුට මසකට ජලය ලීටර 400ක් නොමිලේ ලබා දෙන බව අදාළ චක්‍ර ලේඛයේ සඳහන්.

ඊට වඩා පරිභෝජනය කරන්නේ නම් ඒ සඳහා ගාස්තු පාසල් පරිපාලනය මගින් අය කරගත යුතු බව එහි දැක්වෙනවා.

එසේම දැනට ජල සැපයුමක් ලබා දී නොමැති පාසල් සඳහා එක් නව ජල සැපයුමක් ඇස්තමේන්තු ගාස්තුවලින් තොරව නොමිලේ ලබා දෙන අතර අමතර ජල සැපයුමක් ලබා ගන්නා විට නියමිත ගාස්තුව අය කරන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටියේ.

විදුහල්පති, ගුරු නිවාස, පිහිණුම් තටාක සඳහා වෙනම ජල සැපයුම් ලබා දීමටත්, නිල නිවාසවල ගාස්තු ඒවායෙහි පදිංචිකරුවන් විසින් සහ පිහිණුම් තටාකවල බිල්පත් ඒවා කුලියට දීම තුළින් ලබා ගන්නා ආදායමෙන් ගෙවීම් කරන ලෙසත් අදාළ චක්‍රලේඛයේ දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම චක්‍රලේඛයෙන් තවත් බරක් දෙමාපියන් මත පැටවෙන බවයි ගුරු සංගම් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් මෙවැනි ක්‍රියාමාර්ග මගින් පාසල් තුළ ජල කළමනාකරණයක් සිදු කළ නොහැකි බවත් මෙම චක්‍රලේඛය පිළිබඳව තමා කිසිදු දැනුවත් වීමක් නොමැති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කළේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.