මන්ත්‍රී රාජපක්ෂ පැවිදි වෙයි

මන්ත්‍රී රාජපක්ෂ පැවිදි වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තාවකාලික පැවිදි භාවය ලබා තිබේ.

ඒ්, ඉන්දියාවේ බරණැස, ඉසිපතනාරාම මූල ගන්ධකුටි විහාරස්ථානයේදී ය.

ගුණතිලක රාජපක්ෂ මහතා මෙලෙස තාවකාලික පැවිදි වීම සඳහා ඉන්දියාව බලා ගොස් තිබුණි.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව සිදුකළ ඉසිපතනාරාමයේ මූල ගන්ධකුටි විහාරාධිපති පූජ්‍ය රත්මලේ සුමිත් ආනන්ද හා පූජ්‍ය දෙහිඅත්තකණ්ඩියේ පියනන්ද නායකහිමිවරුන්ගේ උපාධ්‍යායෙන් යුක්තව ආගමික වතාවත් අනුව අද (20) දින පෙරවරුවේ පූජ්‍ය හාරිස්පත්තුවේ ධම්මරතන නමින් පැවිදි භාවයට ඇතුළත්වී තිබේ.

කැනඩාවේ පදිංචි, වෘත්තියෙන් ඉංජිනේරුවකු වන ගුණතිලක රාජපක්ෂ මහතාගේ පුත් සඳකැළුම් රාජපක්ෂ මහතාද පූජ්‍ය අම්පාරේ ධම්මාලෝක නමින් මෙම අවස්ථාවේදීම තාවකාලික පැවිදි භාවයට ඇතුළත් වීමද සිදුවී ඇත.

ගුණතිලක රාජපක්ෂ මහතාගේ බිරිඳ ද මීට කෙටි කලකට පෙර අභාවප්‍රාප්ත වූ අතර පසුගියදා පැවැති මහනුවර සංවර්ධන කමිටු රැස්වීම අවසානයේ හදිසියේ රෝගාතුර වූ ඒ මහතා රෝහල්ගත කිරීමටද පියවර ගැනුණි.

දැඩි කාර්යබහුල ජීවීතයක් ගත කිරීම හේතුවෙන් පීඩාවට පත්වී ඇති මනස සන්සුන් කරගැනීම සඳහා තාවකාලිකව හෝ පැවිදි දිවියට ඇතුළත්වීමට තීරණය කළ බවද මනස සන්සුන් කරගැනීම සඳහා සුදුසුම ප්‍රතිකාරය භාවනා කිරීම බවද පූජ්‍ය හාරිස්පත්තුවේ ධම්මරතන හිමි එහිදී පෙන්වා දුන්හ.