ජී. එල්.ගේ සහය සජිත්ට

ජී. එල්.ගේ සහය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී තමා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාස සහයෝගය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි.

මේ අතර ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 යන කාල පරාසය තුළ අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් නව ජනාධිපතිවරයා නොවැම්බර් 17 වැනිදාට පෙර දිවුරුම් දියයුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (19) පැවසීය.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කොළඹ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

මෙම වසරේ ජූලි මස අවසානයේ හෝ අගෝස්තු මස මුලදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අනිවාර්යයෙන් බැඳී සිටින බවත් මෙම වසරේදී ජනාධිපතිවරණය නියමිත වේලාවට නොපැවැත්වුවහොත් නොවැම්බර් 18 වැනිදාගෙන් පසු පවතින රජය නීතිය අනුකූල නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම වසරේ නියමිත දින වකවානු තුළ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගැනීමට නොහැකි යැයි විශ්වාස කරන බවත් ජී. එල්. පීරිස් මහතා කීය.

විධායක ජනාධිපති ධූරයේ අහෝසි කර මෙම ආණ්ඩුව තව වසරකට ඉදිරියට ගෙන යනවාද යන ප්‍රශ්නය මහජනතාවගෙන් සෘජුව ඇසිය යුතු බව කී ඒ මහතා පළමු වරම මෙම විනාශකාරී ආණ්ඩුව පලවා හැරීමට ජනතාව බලා සිටින බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමේ නීතිමය බලය හිමිවන්නේ මැතිවරණ කොම්ෂන් සභාවට මිස ජනාධිපති ලේකම් කාර්යාලයට නොවන බවත් ජනමත විචාරණයක ප්‍රතිඵල අභියෝගයට ලක්කිරීමට ඕනෑම පුරවැසියෙක්ට අයිතිය හිමිවන බවත් මහාචාර්යවරයා කීය.

ජනාධිපති ධූරය අහෝසි කිරීම සරළ ක්‍රියාදාමයක් නොවන්නාක් මෙන්ම එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ සෘජු ලෙස බැඳී පවතින බවත් රටේ මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට පෙර ජනමතය පිළිබිඹු කරන පාර්ලිමේන්තුවක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවත් ඒ මහතා පැවසීය.

COMMENTS