ශ්‍රී ලංකා – ඇෆ්ගන් පළමු T20 ගැටුම අද දඹුල්ලේදී

ශ්‍රී ලංකා – ඇෆ්ගන් පළමු T20 ගැටුම අද දඹුල්ලේදී

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරග 3කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ.

කලකට පසු දඹුල්ලේදී පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා ප්‍රේක්ෂකයින් තුළ දැඩි උනන්දුවක් පැවති ආකාරය දැකගන්නට ලැබුණේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ පළමු 20යි 20 තරගයේ සියලු ප්‍රවේශපත්‍ර මේ වනවිට අලෙවි වී අවසන් බවයි.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතුවලින් පසු පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මෙය වීම විශේෂත්වයකි.

නවීකරණ කටුයුතුවලදී පෙර තිබූ අලෝක පද්ධතිය වෙනුවට නව LED විදුලි ආලෝක පද්ධතියක් සවිකර තිබේ.

මේ ආකාරයට LED විදුලි ආලෝක කුළුණු පද්ධතියක් සවිකල මෙරට පළමු ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙයයි.

අද ආරම්භ වන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරගය පිරිමි කණ්ඩායම් දෙකක් අතර දඹුල්ලේදී පැවැත්වෙන පළමු ජාත්‍යන්තර 20යි 20 ක්‍රිකට් තරගය ලෙස ඉතිහාසගත වීම විශේෂත්වයකි.

2022 වසරේ ජුනි 27 වැනිදා සිට මෙම ක්‍රීඩාංගණයේදී කිසිදු ජාත්‍යන්තර තරගයක් පවත්වා නොමැත.

අවසන් වරට පවත්වා ඇත්තේ ඉන්දු – ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර පන්දුවාර 20යි 20 තරගයකි.

අවසන් වරට පිරිමි කණ්ඩායම් අතර ජාත්‍යන්තර තරගයක් පවත්වා ඇත්තේ 2018 ඔක්තෝබර් 13වැනිදායි.

ඒ, ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක්දින තරගයකි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර මේ දක්වා පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග 4ක් පවත්වා ඇති අතර ඉන් තරග 3ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබේ.

ඇෆ්ගනිස්ථානය ජයගෙන තිබෙන්නේ එක් තරගයක් පමණි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අවසන් වරට 20යි 20 තරගයක් ක්‍රීඩා කරනු ලැබුවේ 2022 වසරේ පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේදීය.

එම තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 06ක ජයක් හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වනිඳු හංසරංග විසින් මෙහෙයවන අතර ඊබ්‍රාහිම් සද්රාන් විසින් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙහෙයවනු ලැබේ.

අද තරගය රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිත අතර දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරග තුනම පවත්වනු ලබන්නේ දඹුල්ලේදීය.

COMMENTS