පවුල් දේශපාලනය සමගි ජන බලවේගය තුළ නැහැ – සජිත්

පවුල් දේශපාලනය සමගි ජන බලවේගය තුළ නැහැ – සජිත්

විවිධ හේතු මත පැතිමාරු කිරිම් සිදු වුවත් තමා විවිධ පාර්ශ්ව සමග ගිවිසුම් ඇති කර ගන්නේ ජනතාවට සේවය කළ යුතුය යන පොරොන්දුව මත මිස වරදාන වරප්‍රසාද ලබා දෙන පොරොන්දු මත නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එමෙන්ම, පසුගිය කාලයේ විවිධ රජයන් විවිධ පාර්ශ්ව යටතේ ඩීල් ගැසුවේ ඇමතිකම් වරදාන වරප්‍රසාද ලබාගෙන වුවත් තමන් සමඟ එවැනි ඩීල් ගැසිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (16) සමගි ජන බලවේගය හා එකතු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම සංවිධායක ගාමිණී තිලකසිරිගේ නිවසේ පැවැති ජන හමුවකට එක් වෙමින්.

එහිදී ඔහු සඳහන් කර සිටියේ දිනන අයට මෙන්ම පසුබෑමට ලක්වන ඕනෑම කෙනෙකුට තමා අවස්ථාව ලබා දෙන බවත්, සමගි ජන බලවේගය සමඟ සිටින සියලු දෙනා මහජනතාවට සේවය කල හැකි ලෙස සවිබල ගන්වන බවත් ඉන් එපිටට කිසිදු ගිවිසුමක් නොමැති බවයි.

සමගි ජන බලවේගය යනු තාත්තගෙන් පුතාට යන දේශපාලන ගමනක් නොවන බවත්, පවුල් දේශපාලනය සමගි ජන බලවේගය තුළ නොමැති බවත්, පවුල් දේශපාලනය නිසා රටට වුන හානිය හොදින් දන්නා බැවින් රාජ්‍ය පාලනය සඳහා පවුලේ සාමාජිකයන් කිසිදු අවස්ථාවක සම්බන්ධ කර නොගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසුවා.

COMMENTS