සදා නොමැරෙන “මානව හිතවාදියා” විජය කුමාරතුංග

සදා නොමැරෙන “මානව හිතවාදියා” විජය කුමාරතුංග

මානව හිතවාදියෙකු, කලාකරුවෙකු අභීත නායකයෙකු වූ දිවංගත විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණ සමරුව අද (16) වැනි දිනට යෙදී තිබෙනවා.

ඒ නිමිත්තෙන් පැවැත්වෙන ‘නවම් විරු සැමරුම’ උළෙල අද ප.ව. 2.00 ට කොළඹ නව නගර ශාලාවේදී පැවැත් වේ.

‘කෝවිලගේ විජය ඇන්ටනි කුමාරණතුංග’ නමින් 1945 ඔක්තෝබර් 09 වෙනිදා සීදුවේ දී උපන් ‘විජය කුමාරතුංග’ 1988 පෙබරවාරි 16 වෙනිදා දහවල් 12.20ට පමණ නාරාහේන්පිට පොල්හේන්ගොඩ පාරේ (වර්තමානයේ විජය කුමාරතුංග මාවත) ඔහුගේ නිවස ඉදිරිපිටදී මුහුණ සහ හිස සුනුවිසුණු වන පරිදි ම්ලේච්ඡ ලෙස වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ඒ නීච ඝාතනය මඟින් ඝාතකයන්ට විනාශ කළ හැකිවූයේ විජයගේ සුන්දරතම සිරුර පමණි. ඔහු එසේ මරා 34 වසරක් ඉක්මගොස් තිබියදීත් අදත් පවතින ඔහුගේ නාමය හෝ ඔහු පිළිබඳව ජනහදවත්හි ඇති ආදරණීය මතකය හෝ මරා දමන්නට ඝාතකයන්ගේ පසු පරම්පරාවන්ටවත් හැකි වී නැත.

විජය කුමාරතුංග කියන නාමය සිංහල සිනමාව තුළ නොමැකෙන සටහනක් ඉතිරි කර තැබූ අද්විතීය නාමයක් ඔහුට බොහෝ දෙනෙක් අමතන්නේ මානව හිතවාදී විජය නමින්. ඇත්තෙන්ම ඔහු ශ්‍රී ලාංකේය සිනමාව තුළ සදාකාලිකවම තාරුණ්‍යයේ සිහින කුමරා බවට පත්වුණා.

අදටත් ඔහුගේ සිනමා පට නැරඹීමේදී තාරුණ්‍යයේ කුමරා වන්නේ නිතතින්ම විජය කුමාරතුංගයි. ඔහු රංගන ශිල්පියෙක් පමණක් නොවෙයි ඔහු ගායන ශිල්පියෙක් ද දේශපාලනඥයෙක් ද යන භූමීන් තුල ජනතාවගේ ආදරය නිතැතින්ම දිනාගත්තා විජය කුමාරතුංගයන් රංගනයට පිවිසෙන්නේ සරසවිය පුවත්පතෙහි වූ දැන්වීමක් දැකීමෙන් පසුව ඔහු සම්මුඛ සාකච්ඡාවකට තේරී ඉන්පසු මනමාලයෝ නම් චිත්‍රපටයේ සමූහ රංගනයකට එකතු වූ පසුයි ඉන්පසු සිනමාවක් රැසක් ඔස්සේ සිය රංගන කුසලතාවය ඔප්නැංවූ ඔහු ජාතික හා රාජ්‍ය සම්මාන රැසක්ම දිනාගනු ලැබීය.

ඒ වගේම ඔහු ඉතාමත්ම දක්ෂ ගායන ශිල්පියෙක් ඔහු විසින් ගායනා කරන ලද ගීත අදටත් රසික සිත් පුබුදුවාලමින් කලා ක්ෂේත්‍රය තුළ ගායනා කරනවා.”ගඟ අද්දර මා, කවුළුව අතරින් පත්,වේදනා, දිනකර පායා,සීත රැයේ දී, මංගල නැකත” ආදී ගීතයන් තවමත් නොමැකෙන මතකයන් අතරට එකතු වී හමාරයි.ඔහුගේ ගීත කෞශල්‍ය කොතෙකුත් කියනවා නම් ඔහු දෙවතාවක්ම සරසවි සම්මාන උළෙලේ හොඳම පසුබිම් ගායකයාට තේරී පත්වුණා.

විජය කුමාරතුංගයන් තම දේශපාලන මතය වෙනුවෙන් නොබියව තමන්ට පෞද්ගලික කැලලක් හෝ තම ප්‍රතිරූපයට වන හානිය ගැන නොසිතා සෘජුව එඩිතරව ක්‍රියා කල ඉතාම වටිනා චරිතයක් බව රංගන ශිල්පී අනුර ශ්‍රී නාත් මහතා ‍පැවසීය.විජය කුමාරතුංග මහතාගේ 36 වැනි ගුණසමරු වැඩසටහන් පිළිබඳව පෙරේදා (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

උතුර සහ දකුණ ගිනිගත් යුගයක විජය කුමාරතුංගයන් තම දේශපාලන මතය ලාංකීය තලයට ගෙනා බව කී ඒ මහතා විජය කුමාරතුංගයන් කිසිදු දිනක ජාතිවාදය අවුස්සා තම ඡන්දය වැඩි කර ගැනීම සඳහා ක්‍රියා නොකල බවත් උතුරේ මෙන් දකුණේ ජනතාවට එක ලෙස ආමන්ත්‍රණය කල බවද කීය.

විශේෂයෙන් කුමාරතුංග මහතා, තම රජයක් යටතේ ඊළම නොදෙන බවත් දමිළ ජනතාවගේ ගැටළු සඳහා සැබෑ විසඳුමක් ලබා දෙන බවට සැබවිටම පැවසු බව අනුර ශ්‍රී නාත් මහතා ‍කියා සිටියේය.

ඒසේම ඒතුමාගේ දේශපාලන ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට යම් කිසි කඳවුරක් සූදානම් වනවාද? ඔවුනට කොන්දේසි විරහිතව තම කණ්ඩායමේ සහයෝගය ලබා දෙන බවද ඒ මහතා වැඩි දුරටත් සඳහක් කලේය.

එසේම කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණ සැමරුමට සමගාමීව ජාතික මහජන සෞඛය සංසදයේ නවම් විරු සැමරුම තුළින් කුමාරතුංගයන්ගේ අරමුණ වෙනුවෙන් දිවි පිදූ 117ක් වෙනුවෙන් ගුණ සැමරීමක් සිදු කරන අතර සමස්ථ ලංකා මට්ටමින් පැවැත්වූ විජය ගී තරුව තෙරීමේ තරඟයේ අවසාන වටය සහ සම්මාන උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද කීය .

මෙහිදී අදහස් දැක්වූ රංගන ශිල්පී සරත් දික්කුඹුර මහතා පැවසුවේ , විජය කුමාරතුංගයන් නොදැකපු පිරිසක් ඔහුගේ චින්තනය පිළිබඳව කතා කරන බවත් එතුමා නිතරම සත්‍ය පැත්ත ගත් බවත් එදා එතුමා එදා ගත් තීරණවලට එළඹිමට දැන් අපට සිදුවී ඇති බවත්ය.

විජය කුමාරතුංගයන් ඉතාම ශ්‍රේෂ්ඨ කලා කරුවෙක් බව කී මහතා , වසර 36 ගියද මේ රංගධරයා , ගායකයා මෙන්ම චින්තනවාදියාට මිනිසුන් ආදරය කරන බවත් එනිසාම මිනිසුන් එකතුවී ඔහුගේ මෙම චින්තනය කලාවට තිබුණු ගුණය ඉදිරියට ගෙන යාමට වැඩසටහන් සංවිධානය කර ඇති බවද කීය.