ග්ලැසියර් ශීඝ්‍රයෙන් දියවීමත් සමඟ ගල්ෆ් දියවැල නැති වී යාමේ අවදානමක්

ග්ලැසියර් ශීඝ්‍රයෙන් දියවීමත් සමඟ ගල්ෆ් දියවැල නැති වී යාමේ අවදානමක්

ලොව පුරා පවතින ග්ලැසියර් ශීඝ්‍රයෙන් දියවීමත් සමග සාගරයේ පවතින ප්‍රධානතම උණුසුම් දියවැල් අතුරින් එකක් වන මෙක්සිකෝ බොක්කෙන් ආරම්භ වන “Gulf Stream” නැමැති දියවැල නැති වී යා හැකි බව විද්‍යාඥයින් පෙන්වා දී තිබේ.

ශීඝ්‍රයෙන් ඉහළ යන කාබන් විමෝචනය සහ දේශගුණික විපර්යාස හමුවේ පෘථිවියේ පවතින ග්ලැසියර් දියවීම ඉතා වේගයෙන් සිදුවිය හැකි බවත් එහි පාලනයක් සිදු නොවුණහොත් 2025 වන විට එනම් ඉතා කෙටි කාලයක් තුළ ගල්ෆ් දියවැලට දැඩි බලපෑම් සිදු විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

“The Guardian” හි පළවූ වාර්තාවක දැක්වෙන්නේ ගෝලීය කාබන් විමෝචනය අඩු නොකළහොත්, 2025 සහ 2095 යන කාලය ඇතුළත මෙම ගල්ෆ් දිය වැල මෙලොවින් තුරන් විය හැකි බවය.

ගල්ෆ් දිය වැල උතුරු අත්ලාන්තික් කලාපයේ දේශගුණය පාලනය සඳහා ස්වභාවිකවම සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කරයි.

ගල්ෆ් දිය වැල සාගර උෂ්ණත්වයේ සමතුලිතාව පවත්වා ගැනීමට බෙහෙවින් දායක වන අතර එමගින් තාපය ප්‍රවාහනය කරන ක්‍රියාවලිය සිදු කරයි.

ගල්ෆ් දියවැල විනාශ වුවහොත් උතුරු අමෙරිකාවේ, ආසියාවේ සහ යුරෝපයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය දශක කිහිපයක් ඇතුළතදී සෙල්සියස් අංශක 10ක් වැනි අගයකට අඩු විය හැකි බවත් ඒ අනුව අහිතකර දේෂගුණික විපර්යාස සිදුවිය හැකි බවත් පර්යේක්ෂකයින් පෙන්වා දෙයි.

එනම් දරුණු කුණාටු ඇති වීම, මුහුදු ජල මට්ටම ඉහළ යාම වැනි දැ සිදු විය හැකි බව සඳහන් වේ.

2004 වසරේ තිරගත වී ප්‍රසිද්ධියට පත් වූ ‘The Day After Tomorrow’ චිත්‍රපටයේ පෙන්නුම් කළ දරුණු ස්වභාවික විපත්වලට සමාන ක්‍රියාවලියක් සිදුවිය හැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබුණි.

https://shorturl.at/uOTV6