ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බව ජනපති කියයි

ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බව ජනපති කියයි

රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එමඟින් තරගකාරී ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකළ හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ.

කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ ඊයේ (14) පෙරවරුවේ පැවති පිරිවෙන් හා පාසල් සිසු සිසුවියන්ට නොමිලේ පාසල් පෙළපොත් හා පාසල් නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

විභාග බර අඩුකර ඉංග්‍රීසි සහ තාක්ෂණ විෂයයන් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරමින් රැකියාවට සුදුසු දරුවෙක් බිහි කිරීමට අපේක්ෂා කරන අතර නව වෘත්තීය විද්‍යාල හා තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ.

2022 වසරේදී රට තුළ ඇති වූ දරුණු ආර්ථික අර්බුදය නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය පමණක් නොව සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමකට ලක්වූ අතර පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබා දීමට හැකියාවක් නොතිබුණු බව ජනාධිපතිවරයා පෙන්වාදුන්නා.

එම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට කිසිදු නායකයෙක් ඉදිරිපත් නොවූ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අවස්ථාවේදී තමන් අදාළ අභියෝගය භාරගෙන රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළ බවයි ඔහු පැවසුවේ.

COMMENTS