ජාත්‍යන්තර භගවත් ගීතා මහෝත්සවය ලංකාවේදී

ජාත්‍යන්තර භගවත් ගීතා මහෝත්සවය ලංකාවේදී

ජාත්‍යන්තර භගවත් ගීතා මහෝත්සවය මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඊට අදාළ යෝජනාව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

මෙම උත්සවය පවත්වනු ලබන්නේ, හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැලකෙන ශ්‍රීමත් භගවත් ගීතාව සම්බන්ධ ආගමික සිදුවීම් මාලාව වෙනුවෙන් හා ශ්‍රීමත් භගවත් ගීතාව වෙනුවෙන් වන්දනීය උපහාරයක් පිදීම සදහා බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව මෙම උත්සවය පවත්වනු ලබයි.

එම අමාත්‍යංශය තවදුරටත් සදහන් කළේ, මෑත වර්ෂවලදී එම උත්සවය විදේශයන්වල පවත්වා ඇති බව ත් මෙම වර්ෂයට අදාළ ජාත්‍යන්තර ශ්‍රීමත් භගවත් ගීතා මහෝත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජනා කර ඇති බව ත් ය.

ඒ අනුව එම උත්සවය, ඉන්දියාවේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලයේ මූල්‍ය අනුග්‍රහය මත මාර්තු 1 දා සිට 3 වන දා දක්වා නෙළුම් පොකුණ පරිශ්‍රයේ පැවැත්වෙන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.

COMMENTS