දකුණ ගැන උතුරු කොරියාවෙන් දැඩි තීරණයක්

දකුණ ගැන උතුරු කොරියාවෙන් දැඩි තීරණයක්

කොරියානු අර්ධද්වීපයේ උණුසුම් වාතාවරණය ඉදිරියේදී තවදුරටත් වර්ධනයවීමේ අවදානමක් මතුකරමින්, දකුණු කොරියාව සමග පවතින සියලු ආර්ථික සහයෝගීතාවන් අවසන් කිරීමට උතුරු කොරියාව තීරණය කර තිබේ.

උතුරු කොරියානු පාර්ලිමේන්තුව නැත්නම් උත්තරීතර මහජන සභාවේ නියෝජිතයන් ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කළ බව එරට රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව (KCNA) වාර්තා කළේය.

කොරියානු මහජන පක්ෂය හෙවත් කොමියුනිස්ට් පක්ෂය මගින් ගනු ලබන තීරණ නීතිගත කරනු ලබන්නේ මෙම මහජන සභාව විසිනි.

එහිදී දකුණු කොරියාව සමග පවතින සංචාරක ව්‍යාපෘතියට බලපැවැත්වන විශේෂ පාලන නීති අවලංගු කිරීමටත් මහජන සභාවේ නියෝජිතයන් ඡන්දය ප්‍රකාශ කර ඇත.

2000 දශකය මුල් භාගයේ ආරම්භ කෙරුණු මවුන්ට් කුම්ගන් නැමැති එම සංචාරක ව්‍යාපෘතිය යටතේ මිලියන 2ක් පමණ දකුණු කොරියානුවන් උතුරේ සංචාරය කළේය.

කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර දේශසීමාවේ දර්ශනීය කඳු පෙළක් මෙම සංචාරක ව්‍යාපෘතියට කේන්ද්‍ර විය.

2008 වසරේදී මෙම ව්‍යාපෘතිය අත්හිටුවනු ලැබුවේ ප්‍රවේශය සීමාවු ප්‍රදේශයකට පිවිසි දකුණු කොරියානු සංචාරකයෙකු උතුරු කොරියානු ආරක්ෂක හමුදා විසින් වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුවය.

මෙම ව්‍යාපෘතිය සඳහා දකුණු කොරියානු Hyundai සමූහය ඩොලර් මිලියන 564ක් පමණ ආයෝජනය කර තිබුණි.

කෙසේ නමුත් උතුරු සහ දකුණු කොරියානු දේශසීමා කලාපයේ ක්‍රියාත්මක වන කේසොං කර්මාන්ත කලාපයේ අනාගතය සම්බන්ධයෙන් උතුරු කොරියානු KCNA රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව සඳහනක් කර නැත.

කේසොං කාර්මික කලාපයේ දකුණු කොරියානු සමාගම් 125ක් පමණ ආයෝජනය කර ඇති අතර ඒවායේ 55,000ක් පමණ උතුරු කොරියානුවන් සේවය කරයි.

https://shorturl.at/vyzH9