පොහොට්ටුවේ නායකත්වය යළිත් මහින්දට – මීළඟ මැතිවරණය අපි දිනනවා

පොහොට්ටුවේ නායකත්වය යළිත් මහින්දට – මීළඟ මැතිවරණය අපි දිනනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ නැවතත් තේරී පත්ව තිබේ.

මේ වනවිට ආරම්භ වී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් එය ස්ථීර කළේය.

මේ අතර අනිවාර්යයෙන්ම මීළඟ මැතිවරණය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

පොදුජන පෙරමුණේ විශේෂ මහ සම්මේලනයට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, “අපේම ආණ්ඩුවක් පිහිටවන්න සුදානම් වෙමු…” යනුවෙනි.

එය නිසැකයෙන්ම එඩිතර ආණ්ඩුවක් බවට පත්කර ගැනීමට සියලුදෙනාම එක්විය යුතු බව ද අවධාරණය කර සිටි බැසිල් රාජපක්ෂ මහතා මේ රටේ ජනතාව මරණ බියෙන් ගලවා ගත් එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණක් බව ද අවධාරණය කළේය.

නොයෙක් තර්ජන මද්දයේ සමුළුවට පැමිණි සියලුදෙනාටම ස්තූතිය පළ කර සිටි බැසිල් රාජපක්ෂ ආරක්ෂාකාරීව ගම්බිම් බලා පිටත්ව යනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එයට අවශ්‍ය ආරක්ෂාව යොදවා ඇති බවත් පැවසීය.

“ඒ වගේම මම එක ඉල්ලීමක් කරනවා ඔබ සියලුදෙනාගෙන්. ගමට යනකොට කරුණා කරලා, කහ ඉරෙන් ඇරෙන්න වෙන කිසිම තැනකින් පාර මාරු වෙන්න එපා. මොකක් හරි අපේ වැරැද්දක් අල්ලගන්න සමාජ මාධ්‍ය බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ඉතාම විනය ගරුකව මහින්ද රාජපක්ෂ මහතා අපිට කියා දුන්න උතුම් පාඩම අරගෙන අපේ පක්ෂය ආදර්ශමත් පක්ෂයක් හැටියට මේ ඉදිරි කාලේ කටයුතු කරමු. ඒකෙන් අපි නිවටයෝ කියලා හිතන්න එපා. අපිට ඒවටත් ඕන නම් සුදානම් කියන එක කියනවා. පාරේ දුවන බල්ලෙක්ට ගලක් ගැහුවොත් බල්ලා බුරලා තව හයියෙන් දුවනවා. හැබැයි සිංහයෙක්ට ගලක් ගැහුවොත් කවුද ගල ගැහුවේ කියලා බලනවා. ඒ වගේ තමා අපිත්. අපිට ගහන්න එපා ගල්. අපි බලාගන්නවා…” යනුවෙන්

මේ අතර සමුළුව අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ මෙවැනි අදහසක්.

”අපේ පක්ෂෙට වගේම රටට ආදරය කරන මිනිස්සු වගේ ඔබ ඉතා ඉවසීමෙන් කටයුතු කළා. අපේ සම්මේලනය තියෙනවා කිව්වාම සමාජ මාධ්‍ය තුළින් අපට මඩ ගැහුවා. අද ඒ සියල්ලටම ප්‍රතිචාර ලැබිලා තියෙනවා. අපි 2005දී රට භාර ගන්නකොට ජනතාව අපෙන් ඉල්ලුවේ රට දෙකට කැඩෙන එක නවත්තන්න කියලා විතරයි. සමහර නායකයෝ යුද්ධය නවත්තන්න ආයුධ දුන්නා ප්‍රභාකරන්ට. ප්‍රභාකරන් ඒ ආයුධවලින්ම අපේ රණවිරුවෝ මැරුවා. සිංහල දෙමළ සියළු ජනතාවට සාමයෙන් ඉන්න පුළුවන් රටක් අපි හැදුවා. අනාගත අභියෝගය ජය ගත හැකි එකම පක්ෂය තමයි මේක. මගේ අත්වල ලේ ගෑවිලා නෑ. අරගලයෙන් නැතිවෙන්න ගිය රට බේරුණේ ඔබ නිසයි. අරගලයේ වෙස් මුහුණු ගලවන්න කාලෙ ඇවිල්ලා. රටට අවශ්‍ය විදිහට අලුත් ගමනක් ආරම්භ කරනවා. අලුත් රටක් වෙනුවෙන් පෙළගැසෙමු. ඉදිරියේ මැතිවරණ අපි ජයග්‍රාහණය කරමු. මගේ ප්‍රතිපක්ති තුළින් රට ගොඩනගමු. විවේචනවලට ඉඩ දීලා ඔප්පු කළ හැකි දේශපාලනයට එක් වෙමු. ” යනුවෙන්