ජනවාරි මැද විදුලි ගාස්තු අඩුවන ලකුණු

ජනවාරි මැද විදුලි ගාස්තු අඩුවන ලකුණු

විදුලිය ගාස්තු සකස් කිරීමේ ක්‍රමවේදය හා විදුලි ගාස්තු අඩුකිරීම සඳහා වන යෝජනා ලබාගැනීමේ විශේෂ සාකච්ඡාවක් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පැවැත්වුණා.

විදුලිබල අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාවට ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටි අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඊට කැඳවා තිබුණත් ඔවුන් එහි පැමිණ තිබුණේ නැහැ.

කෙසේ වෙතත් ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ විපක්ෂයෙන් යෝජනා ගැනීමට ඇති අකමැත්ත නිසා අදාළ සාකච්ඡාව පාර්ලිමේන්තුවෙන් පිටත ස්ථානයකදී පැවැත්වීමට කටයුතු කර ඇති බවයි.

එම අවස්ථාවේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ද සංවාදයට මැදිහත් වුණා.

ඊයේ පස්වරුවේ පැවති අදාළ සාකච්ඡාවේදී අදහස් දක්වමින් අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් කියා සිටියේ ජනවාරි මැද භාගය වනවිට විදුලි ගාස්තු අඩුකිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මේ අතර පද්ධතියේ යම් අසමතුලිතතාවක් ඇතිවී විදුලිය විසන්ධි වුවත් නැවත පද්ධතිය සකස් කිරීමට පැය 05 ක් වැනි දීර්ඝ කාලයක් ගතවීම කිසිසේත් පිළිගත නොහැකි බව ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

පසුගියදා දිවයින පුරා සිදුවූ විදුලි බිදවැටීම සම්බන්ධයෙන් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නන්දික පතිරගේ ඊයේ (12) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනුයි මේ බව කියා සිටියේ.