සසුනඹර එකලු කළ ගංගොඩවිල සෝම හිමි

සසුනඹර එකලු කළ ගංගොඩවිල සෝම හිමි

මෙරට නූතන බෞද්ධ පුනර්ජීවනයේ පෙර ගමන් කරුවකු වූ අතිපුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ 20වැනි ගුණසමරුව අදට (12) යෙදී ඇත.

ගංගොඩවිල සෝම හිමියෝ ධර්ම දේශකයකු හා සමාජ ශෝධකයකු වශයෙන් පමණක් නොව අපගේ මාතෘ භූමියේ සහ සිංහල ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ පිළිබඳ මතකය බෞද්ධ සමාජය තුළ තවමත් රැඳී පවතී. සෝම හිමියන් දෙසූ වදන් බොදු ජනතාවගේ සිත් සතන් තුළ තවමත් රැව් පිළිරැව් දෙයි.

වර්ෂ 2003 දෙසැම්බර් 12 වැනි දින රුසියාවේදී උන්වහන්සේ අපවත් වූ අතර එම මරණය පිළිබඳ නොයෙකුත් ආන්දෝලනාත්මක පුවත් එකල සමාජය පුරා පැතිර ගියේය.

රුසියාවේ දී හදිසියේ ඇතිවූ හෘධයාබාදයක් හේතුවෙන් උන් වහන්සේ අපවත් වන විට එරට ආයතනයක් මගින් උන්වහන්සේට පිරි නැමීමට සූදානම් කර තිබුණු උපාධියක් ලබා ගැනීමට උන් වහන්සේ රුසියාවට වැඩම කර තිබුණි.

දේවවාදය හා මූලධර්මවාදය විවේචනය කරමින් සමාජය තුළ නව කතිකාවක් නිර්මාණය කළ සෝම හිමියන් පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගෙන් පසුව වඩාත්ම ජනප්‍රසාදයක් දිනාගත් ධර්ම දේශකයානෝ බවට පත්ව සිටියේය.

මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ තරුණ සීල සමාදානය පාදක කරමින් ඇරඹි ධර්ම දූත සේවය මෙරට පමණක් නොව විදේශයන්හි පවා පතුරුවා හැරීමට උන්වහන්සේ කටයුතු කළහ.

1986 වසරේ දී ඕස්ට්‍රේලියාවට වැඩම කළ සෝම හිමියන් එරට වික්ටෝරියා ප්‍රාන්තයේ බෞද්ධ මධ්‍යස්ථානයක් ඇරඹූ අතර අපවත් වන තුරුම එහි විහාරාධිපති ධුරය දරන ලදී.

වර්ෂ 1948 බක් මස 24 දින ගංගොඩවිලදී ධර්මදාස පියානන්ට හා චාලට් වීරතුංග මෑනියන්ට දාව සෝමරත්න නමින් උපත ලද සෝම හිමි කුඩා කල සිටම දහමට තිබුණු නැඹුරුවත් සමග වයස අවුරුදු 26 දී අම්පිටියේ රාහුල සහ අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමිවරුන් යටතේ ගංගොඩවිල සෝම නමින් සසුන් ගත විය.

අපවත්වන විට 55 හැවිරිදි වියේ පසු වූ උන්වහන්සේ මීට අවුරුදු 20කට පෙර දෙස් විදෙස් සුවහසක් බෞද්ධයන්ගේ සෝ සුසුම් මැද සසුනඹරෙන් බැස ගිය සේක.

එදා සෝම හිමිගේ ඡායාරූප ගසාගෙන දේශපාලන වේදිකාවල කෑගැසුවන්ගේ ධර්ම රාජ්‍ය ලොප්විය. ඇත්තෙන්ම භික්ෂුව දේශපාලන පොර පිටියට බැසීම නිසා ඇතිවූයේ ශාසන පරිහානියකි. දහම් පවස නිවා සුචරිතය ඇති කිරීම උන්වහන්සේ ලබාදුන් අවවාද කෙසේද?

බුදු දහමේ අත්තිවාරම පරාර්ථ සේවයයි. දීපංකර මූලයේදී සුමේධ තාපසතුමාට නිවන් සැප ලබාගැනීමට හැකියාව තිබුණ ද ලෝකයාගේ හිත සුව වෙනුවෙන් සේවය කිරීම සඳහා අධිෂ්ඨාන කර මතු බුදු බව පැතූහ.

1974 සැප්තැම්බර් මස 24 වැනිදා පැවිදි දිවියට ඇතුළු වූ දා සිට සෝම හිමියෝ කැප වූයේ පරාර්ථ සේවය සඳහාම ය.

මහඔය වේරගල ආරණ්‍යයේ වැඩ විසූ කාලයේ සිට බුද්ධ වචනය නිවැරැදිව උපුටා දක්වමින් බොදු ජනයා යහමඟට ගැනීමට උන්වහන්සේට හැකි විණි.

රූපවාහිනිය හරහා සෝම හිමි නාමය දස දෙස පැතිරෙන්නට වූයේ කිසිවකු නොසිතූ ආකාරයටය.

දීඝවාපිය මුස්ලිම් අන්තවාදයට නතුව තිබියදී සියලූ සිංහල බෞද්ධ නායකයන් ඒ ගැන මුනිවත රකිද්දී එවකට පොදු පෙරමුණු රජයේ ප‍්‍රබලයකු වූ ඒ. එච්. එම්. අෂ්රොෆ් ඇමැති සමග ප‍්‍රසිද්ධ විවාදයකට එළඹියේ ද අප යතිවරයාණන් වහන්සේ පමණි. මේ ගැන අද බොහෝ දෙනකුට අමතකය.

සෝම හිමි විවාදාත්මක භික්ෂුවකැයි සමහර මාධ්‍ය ප‍්‍රකාශ කළේ මීට බොහෝ කලකට පෙරය. නමුත් උන්වහන්සේ ඉටුකළේ සිංහල භික්ෂුවට උරුම වූ ජාතික කාර්ය භාරයයි.

සිංහල භික්ෂුන් වහන්සේ වසර දෙදහස් පන්සියයක සිට ජාතියේත් බුද්ධ ශාසනයේත් දියුණුව පිණිස පුරෝගාමීව ක‍්‍රියා කරමින් භික්ෂු ජීවිතය ගත කළ බවත් රටවැසියාගේ දියුණුවට බාධා වන කරුණුවලට එරෙහිව ක‍්‍රියා කිරීමේ බලයක් සංඝයා සතු වූ බවත් 1946 නිකුත් වූ විද්‍යාලංකාර පිරිවෙන් ප‍්‍රකාශයේ සඳහන් වේ.

අනතිමානී ගුණයෙන් යුතු සෝම හිමියන් පිළිබඳ මේ සටහන නිමා කිරීමට උන්වහන්සේගේ ප‍්‍රකාශයක් මෙලෙස උපුටා දක්වමි.

”ඔය ඇත්තෝ මට ගරු කරනවා නම් එය කළ හැක්කේ මම කියන දෙය අනුගමනය කර ඒ අනුව කටයුතු කරනවා නම් පමණයි. එහෙම නැතිව මා පසුපස යමින් මුහුණ පෙන්වනවා නොවෙයි. මම දේශනා කරන්නේ අමුතු බණක් නොවෙයි. මීට ශත වර්ෂ 25 කට පෙර බිහි වූ ලොව ශ්‍රේෂ්ඨතම ආගමික නායකයාණන් වූ ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ දහමයි. එම නිසා මම දෙවියෙක්වත් භූත ආත්මයක්වත් කියලා හිතන්න එපා. මා ගැන එහෙම හිතනවා නම් එය තමයි මට කරන ලොකුම අගෞරවය.”

(දෙසැම්බර් 12 අදට යෙදුනු සෝම හිමි 20වැනි ගුණ සමරුව නිමිත්තෙනි.)

මේ අතර අපවත් වී වදාළ ගංගොඩවිල සෝම නාහිමියන්ගේ 20 වැනි ගුණ සමරුව බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ දී අද (12) පැවැත්වේ.

එම ගුණ සමරුවට සමගාමීව ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හි පදිංචි ජින් ජයසිංහ විසින් සම්පාදිත ‘GOTAMA THE BUDDHA’ කෘතිය එළිදැක්වීමට ද නියමිතව තිබෙන අතර මෙම සමරු උත්සවය කොළඹ, මාලිගාකන්ද විද්‍යෝදය පරිවේණාධිපති අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙහිදී මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් සහ මහාචාර්ය අසංග තිලකරත්න මහතා විසින් දෙසුම් පැවැත්වීමට නියමිතව තිබෙන අතර, මේ අවස්ථාවට ගිහි පැවිදි විශාල පිරිසක් එක්වීමට නියමිතයි.

අතිපුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් සිංහල ජාතියෙත්, සම්බුද්ධ ශාසනයෙත් අභිවෘධිය උදෙසා නැගු අවසන් සිංහ නාදය.