ඩෙංගු මාරයා හිස ඔසවයි

ඩෙංගු මාරයා හිස ඔසවයි

රට තුළ ඩෙංගු ව්‍යාප්තිය උග්‍ර කරමින් වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 80,222ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඉන් අඩක්ම වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයකි.

පවතින අධික වැස්ස සමග රටපුරා ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇති බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි.

වසරේ මේ දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 47කි.

සමස්ත රෝගීන්ගෙන් 46.4%ක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙනි.

ඒ අනුව රෝගීන් 16,948ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්, රෝගීන් 15,419 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සහ රෝගීන් 4,849ක් කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

රට පුරා දිස්ත්‍රික්ක රැසක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61ක් ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පවසයි.

මතුවී ඇති එම අවදානම්සහගත තත්ත්වය මැද කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ, නැගෙනහිර කොළඹ හා මැද කොළඹ ආවරණය වන පරිදි කොළඹ මහ නගර සභාව විශේෂ ඩෙංගු මර්දන හා ජනතාව දැනුවත් කිරීමේ සතියක් අද ආරම්භ කළේය.

මේ යටතේ කණ්ඩායම් 40ක් විසින් එම ප්‍රදේශවල පිහිටි රාජ්‍ය හා පෞද්ගලික ආයතන, පොදු ස්ථාන, පාසල්, ආගමික ස්ථාන ඇතුළු පරිශ්‍ර පරීක්ෂාවට ලක්කෙරුණි.

මේ සඳහා කොළඹ මහ නගර සභාවේ වෛද්‍යවරු, සෞඛ්‍ය පරීක්ෂකවරු, ඇතුළු නිලධාරීන්, පොලිසිය සහ ආරක්ෂක අංශ එක්ව සිටියේය.

ඒ අනුව අද ස්ථාන 1723ක් පරීක්ෂාවට ලක්කෙරුණු අතර, ඉන් 261ක් මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙසත්, තවත් ස්ථාන 28ක් මදුරු කීටයින් සිටින ස්ථාන ලෙසත් හඳුනාගෙන තිබේ.

ඒ අනුව ස්ථාන 241කට රතු නිවේදන නිකුත් කෙරුණු අතර, ස්ථාන 26ක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු ලැබීය.