රටටම විදුලිය නැති වීමට හේතුව සොයා අභ්‍යන්තර පරීක්ෂණයක්

රටටම විදුලිය නැති වීමට හේතුව සොයා අභ්‍යන්තර පරීක්ෂණයක්

දිවයින පුරා විදුලිය බිඳවැටීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් ඊයේ (09) පස්වරු 05.10ට පමණ දිවයින පුරා හදිසි විදුලිය බිද වැටීමක් සිදුවුණි.

බිඳ වැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම ලංකා විදුලි බල මණ්ඩලය විසින් ක්‍රමානුකූලව සිදුකළ අතර ඊයේ රාත්‍රී 11 පමණ වන විට දිවයින පුරා විදුලිය සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබීය.

විදුලිය බිඳවැටීමත් සමග ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ල වූ අතර දිවයින පුරා ආරක්ෂාව තර කිරීමට පොලීසිය සහ යුද හමුදාව කටයුතු කර තිබුණි.

මෙම හදිසි විදුලිය බිඳවැටීමට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් අනාවරණය වී නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ සම්බන්ධයෙන් විධිමත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොඑල් ප්‍රියන්ත මහතා සඳහන් කළේය.

විදුලි සැපයුම විසන්ධි වීම හේතුවෙන් ජල සැපයුමට ද ඊයේ පස්වරුවේ බාධා එල්ල වූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

කෙසේවෙතත් පැය කිහිපයක් තුළ ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකිවූ බව එම මණ්ඩලය සඳහන් කළේය.

විදුලි සැපයුම විසන්ධි වුවද දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් ක‍ළේය.

විදුලිය විසන්ධි වීමත් සමග වික්ටෝරියා, පොල්ගොල්ල, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට ද සිදු වූ බව මහවැලි අධිකාරිය සඳහන් කළේය.

මේ අතර ඊයේ පස්වරුවේ දිවයින පුරා ඇතිවූ විදුලිය බිඳවැටීම ජාත්‍යන්තර මාධ්‍ය රැසක ද අවධානයට ලක්ව තිබුණි.

2016 වර්ෂයේ මාර්තු මාසයේ පළමු වරට මෙවැනි විදුලි බිඳවැටීමක් සිදුව තිබේ.

එමෙන්ම 2020 වසරේ අගෝස්තු 17 වන දින ද කෙරවලපිටියේ සම්ප්‍රේෂණ පද්ධතියේ සිදුවූ විදුලි බිඳවැටීමක් හේතුවෙන් පැය 06කට අධික කාලයක් විදුලි සැපයුම තාවකාලිකව විසන්ධි වී තිබුණි.

ඊට අමතරව 2021 වසරේ දෙසැම්බර් මස 03 වන දින ද කොත්මලේ සහ බියගම විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදුලි සැපයුම බිඳවැටී තිබූ අතර එම සෑම අවස්ථාවකදීම යලිත් මෙවැති විදුලිය බිඳවැටීම් සිදු නොවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

කෙසේවෙතත් ඊයේ දිනයේත් පැය 06කට ආසන්න කාලයක් දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදුවූ අතර එම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් සිදුකිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සඳහන් කළේය.

COMMENTS