මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ (08) කාන්තාවක් අත්අඩංගුවට ගත්තා.

ඒ දකුණු කොරියාවේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචාකළ කාන්තාවක්.

රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක මුදලක් මෙම කාන්තාව වංචා කළ බව වාර්තා වෙනවා.

මෙසේ මුදල් වංචාකර තිබෙන්නේ දකුණු කොරියාවේ වෑද්දුම් අංශයේ රැකියා ලබා දෙන බව පවසමින්.

මෙම කාන්තාවට එරෙහිව පැමිණිලි 15ක් ලැබී ඇති අතර, ඇය රුපියල් ලක්ෂ 05 සිට ලක්ෂ 15 දක්වා මුදලක් විවිධ පුද්ගලයින්ගෙන් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.

විදේශසේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් සැකකාරිය සමඟ සූක්ෂම ලෙස දුරකතන සම්බන්ධතා පවත්වා ඇය කාර්යාංශය වෙත කැඳවා අත්අඩංගුවට ගත් බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

දකුණු කොරියාවේ වෑද්දුම් අංශයේ රැකියා සඳහා බඳවා ගැනීමට බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන කිහිපයකට පමණක් අවසර ලබා දී ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා.

එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ දකුණු කොරියාවේ වෑද්දුම් අංශයේ රැකියා සඳහා යොමුවීමේ දී හෝ මුදල් ගෙවීමට පෙර අදාළ විදේශ රැකියා නියෝජිත ආයතනය කාර්යාංශයේ බලපත්‍රලත් ආයතනයක් බවට තහවුරු කරගැනීම සඳහා 1989 වෙත ඇමතුමක් ලබාදෙන ලෙසයි.