ජනපතිගෙන් වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස්

ජනපතිගෙන් වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව සාමූහික ගිවිසුමකට එළැඹෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස් ලබාදුන්නා.

ජනාධිපති මේ බව සඳහන් කළේ වැවිලි සමාගම් ප්‍රධානීන් සමඟ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදියි.

වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රුපියල් 1,700ක මුදල ලබා දීම හෝ වැඩි කරන වැටුප් ප්‍රමාණය පිළිබඳව මෙම දෙසැම්බර් මස 31 වනදාට පෙර දැනුම් දීම සඳහා ද උපදෙස් ලබාදුන්නා.

සාකච්ඡාව කැඳවා තිබුණේ 2024 අයවැයෙන් යෝජනා කරන ලද කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙළට අනුව ප්‍රාදේශීය වැවිලි සමාගම් ඔවුන්ගේ වැඩපිළිවෙළ සොයා බැලීමටයි.

වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කළා.

වතු කම්කරු ජනතාවගේ නිවාස අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කිරීමට කමිටුවක් පත් කිරීමට හා වතු කම්කරුවන් සහ වැවිලි සමාගම් නියෝජනය කරමින් තවත් කමිටුව පත් කිරීමටත් මෙහිදී යෝජනා වුණා.

ආසියාතික රටවල ආහාර අවශ්‍යතාව වෙනුවෙන් මෙරට අපනයන ආර්ථිකය සූදානම් කළ යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

COMMENTS