පිළිකා රෝගීන්ගේ මුදල් සොරකම් කරන ජාවාරමක්

පිළිකා රෝගීන්ගේ මුදල් සොරකම් කරන ජාවාරමක්

පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම් වෙත ජනතාව පරිත්‍යාග කරන මුදල් කොල්ලකන ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශනයකදී මේ බව හෙළි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අදාළ සිදුවීම පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පිළිකා රෝගයෙන් පීඩාවිඳින කඩුවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙනුවෙන් රාජ්‍ය බැංකුවකට බැරවූ රුපියල් ලක්ෂ 38ක මුදලක් කිසියම් පිරිසක් විසින් ඔහුගේ බැංකු ගණුමෙන් වංචා සහගතව ලබාගැනීමේ සිද්ධියකට අදාළව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අනුව අදාළ කරුණු හෙළි වී ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත ද කරුණු වාර්තා කර තිබෙනවා.

පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම් වෙත ජනතාව පරිත්‍යාග කරන මුදල් කිසියම් කණ්ඩායමක් විසින් මෙලෙස වංචා සහගත ලෙස එම බැංකුවලින් ලබාගැනීමේ වැඩපිළිවෙළක් රට පුරා ක්‍රියාත්මක වෙමින් තිබෙන බවටයි අදාළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් සොයා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.