සචිත්‍රට අධිකරණයෙන් නියෝගයක්

සචිත්‍රට අධිකරණයෙන් නියෝගයක්

පොලීසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතු සඳහා සහාය වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (01) ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට නියෝග කළේය.

තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකාර සචිත්‍ර සේනානායක අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව සැකකරුගේ කටහඬ පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍යව තිබෙන බවත් දැනුම් දෙනු ලබන අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතුවලට සහාය වන ලෙස සැකකරු වෙත නියෝග කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ඒ අනුව දැනුම් දෙනු ලබන අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතුවලට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුට නියෝග කළේය.

අනතුරුව පැමිණිල්ල යළි ලබන මැයි මස 17 වනදා කැඳවන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS