ලෝක ඒඩ්ස් දිනය අදයි

ලෝක ඒඩ්ස් දිනය අදයි

ලෝක ඒඩ්ස් දිනය සෑම වසරකම දෙසැම්බර් 01 වනදා සමරනු ලබනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියළුම ප්‍රජාවන් සමග එක්වී ”Let Communities Lead” එනම් ප්‍රජාවන්ට නායකත්වය දීමට ඉඩ දෙන්න යන තේමාව යටතේ 2023 ලෝක ඒඩ්ස් දිනය සමරනු ලබනවා.

HIV සමග ජීවත් වන සහ පීඩාවට පත් වූ ප්‍රජාවන්ට එහි ප්‍රගතියක් ලබා ගැනීමට සාමාන්‍ය ජනතාව සහ තරුණ නායකයින් සමග එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

ලෝකයෙන් ඒඩ්ස් රෝගය තුරන් කළ හැක්කේ ප්‍රජාවන් හට නිසි පෙන්වීමෙන්.

ඒ අනුව HIV ආසාදනය පැතිරීම නිසා ඇති වන ඒඩ්ස් වසංගතය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කැපවූ ජාත්‍යන්තර දිනයක් ලෙසයි අද දිනය හදුන්වන්නේ.

ලෝක ඒඩ්ස් දිනයේ ඉතිහාසය අතීතය දක්වා දිව යන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය එය නිල ගෝලීය සෞඛ්‍ය සැමරුමක් ලෙස 1988දී ප්‍රකාශයට පත් කිරීමත් සමගයි.

එය පළමු ගෝලීය සෞඛ්‍ය දිනය වූ අතර ලෝක ඒඩ්ස් දිනය පිහිටුවීම වසංගතයට එරෙහි සටනේ වැදගත් පියවරක් සනිටුහන් කළා.

ලෝක ඒඩ්ස් දිනයේ වැදගත්කම පවතින්නේ HIV/AIDS මගින් එල්ල වන අඛණ්ඩ අභියෝග කෙරෙහි අවධානය යොමු කිරීමට සහ අදාළ ගැටලු සඳහා ලැබෙන සහයෝගය බල ගැන්වීමට ඇති හැකියාව තුළයි.

HIV සම්ප්‍රේෂණය, වැළැක්වීම, පරීක්‍ෂා කිරීම, ප්‍රතිකාර කිරීම සහ වෛරසය සමඟ ජීවත් වන අය මුහුණ දෙන අපකීර්තිය සහ වෙනස්කම් කිරීම් පිළිබඳව තමන් සහ අන් අය දැනුවත් කිරීමට මෙම දිනය ඉතා වැදගත් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර ලංකාවේ හයදහසකට ඒඩ්ස් රෝගය වැළඳී ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ඊයේ (30) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශය කළා.

ලංකාවේ ජනගහනයෙන් තුන් දහසකගෙන් එක් අයෙකු ඒඩ්ස් රෝගියකු බවයි ඔහු සඳහන් කළේ.

ලංකාවේ ඒඩ්ස් රෝගය වැඩි වීමේ ප්‍රමාණයක් ඇති බවත් මේ වනවිට ඒඩ්ස් රෝගීන් 6000ක් පමණ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.