හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට පෙත්සමක්

හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට පෙත්සමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව සුදුසු දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

නීතිඥ දිමිත්‍රි ශිරාස් ඔගස්ටස් පිට්‍රාංජලී විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

එහි වගඋත්තරකරු ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නම් කර තිබෙනවා.

පෙත්සම්කාර පාර්ශවය කියා සිටින්නේ ඉකුත් (8) වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ එවක ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අභියාචනාධිකරණය සභාපති විනිසුරු වරයාට අපහාසයක් වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බවයි.

එම ප්‍රකාශය තුළින් හිටපු අමාත්‍යවරයා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගේ චරිතයට සහ ඔහුගේ වෘත්තීය ජීවිතයට දැඩි අගතියක් මෙන්ම හානියක් සිදුකර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) ව්‍යවස්ථාව ප්‍රකාරව අමාත්‍යවරයා විසින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් වග උත්තරකාර අමාත්‍යවරයා වෙත අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු විමසා නොතීසි නිකුත් කරන ලෙසත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සුදුසු දඬුවම් පමුණුවන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

COMMENTS