සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් දැනටමත් රාජ්‍ය සේවකයන් වන අතර 2019 වර්ෂයේ දී සංවර්ධන නිලධාරීන් 20,000කට පමණ විශේෂයෙන් පළාත් පාසල්වල පුහුණු වීමට අවස්ථාව ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මෙම පිරිස ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ හැක්කේ ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූලව බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ඒ අනුව සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිතිවල එකඟතාවද ඇතිව විභාග පවත්වන දිනට වයස අවුරුදු 40 දක්වා දීර්ඝ කර, රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඇතිව, බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා, එම විභාගය 2023-03-25 දිනට නියම කර තිබුණා.

එහිදී 2023-03-23 දින මෙම නිලධාරීන්ගෙන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කර විභාගය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් ගැනීම නිසා එම නඩුව තවමත් විභාග වෙමින් පවතින් බවයි සඳහන් වන්නේ.

මෙම බඳවාගැනීමට බාධාවක් නොවන ලෙස මෙම නඩුව කඩිනමින් අවසන් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයට අවශ්‍ය වී තිබෙනවා.

ඉන්පසු ගුරුවරුන් විශ්‍රාම යාම හා සේවය හැරයාම මත ඇති වූ පුරප්පාඩු සඳහා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව උපාධිධාරීන් බඳවා ගැනීමට පළාත් බලධාරීන් කටයුතු කර තිබෙනවා.

විද්‍යා, ගණිත, විදේශ භාෂා උපාධිධාරීන් බඳවාගැනීමට ගුරුසේවා ව්‍යවස්ථාව අනුව කටයුතු කර ඇති බව සඳහන්.

මෙම බඳවාගැනීම් මගින් පුහුණුවන සංවර්ධන නිලධාරීන් බඳවාගැනීමට බලපෑමක් සිදු වන්නේ නැහැ.

එම නිසා ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව කඩිනමින් අවසන් වූ පසු ව ලැබෙන නියෝගය මත ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.