මැක්ස්වෙල් ඉන්දියාවට තරු පෙන්වයි

මැක්ස්වෙල් ඉන්දියාවට තරු පෙන්වයි

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගය වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.

ඒ ඔස්ට්‍රේලියා සුපිරි පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල්ගේ සුපිරි ප්‍රතිප්‍රහාරය හේතුවෙනි.

ගුවහති ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 222ක් රැස්කරගත්තේය.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ Ruturaj Gaikwad සිය මංගල විස්සයි විස්ස ශතකයත් සමගින් පන්දු 57කදී නොදැවී ලකුණු 123ක් රැස්කළේය.

ලකුණු 223ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 134ක් තුළ දැවීගිය අතර හයවන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූයේ ග්ලෙන් මැක්ස්වෙල් සහ නායක මැතිව් වේඩ්.

ඔවුන් දෙදෙනා පිටියට එක්වන අවස්ථාවේ ඔස්ට්‍රේලියාවට පන්දු 39කදී ලකුණු 89ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබුණි.

මැතිව් වේඩ් සමග එක්වූ ග්ලෙන් මැක්ස්වෙල් විශිෂ්ඨ පිතිහරඹයක නිරතවෙමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රාහී මාවතට රැගෙන ආවේය.

තරගයේ අවසන් පන්දුවාර 2ට ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 43කි.

19වැනි පන්දුවාරයට ලකුණු 22ක් රැස්කළ වෙඩ් සහ මැක්ස්වෙල් අවසන් පන්දුවාරයේ ඉලක්කය ලකුණු 21ක් දක්වා අඩුකර ගැනීමට සමත්වුණි.

අවසන් පන්දුවාරය යැවූ ප්‍රසීද් ක්‍රිෂ්ණාට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළ මැක්වෙල් පළමු පන්දු 5ට හයේ පහරක් සහ හතරේ පහර 3ක් එල්ල කළේ ඔහුගේ සිව්වන 20යි 20 ශතකයද සම්පූර්ණ කරමිනි.

පන්දු 47කින් ශතකය සම්පූර්ණ කළ මැක්ස්වෙල් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පිතිකරුවෙක් රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව සමකිරීමට සමත් වුණි.

ඒ අනුව ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට රැස්කර ගත යුතුව තිබූ ලකුණු දෙක, හතරේ පහරක් එල්ල කරමින් සම්පූර්ණ කළ ග්ලෙන් මැක්ස්වෙල් ඔස්ට්‍රේලියාවට විශිෂ්ඨ ජයක් හිමිකර දුන්නේය.

මෙම හඹායාම වාර්තා අතරට එක්වූයේ ඉන්දියාවට එරෙහිව ඕනෑම කණ්ඩායමක් විස්සයි විස්ස තරගයක් හඹාගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසටය.

COMMENTS