දේශබන්දුට පොලිස්පති පුටුවේ වැඩ බලන්න දෙයි

දේශබන්දුට පොලිස්පති පුටුවේ වැඩ බලන්න දෙයි

වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කර තිබෙනවා.

නොවැම්බර් 25 වන දින විශ්‍රාම ගිය හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න හට සේවා දිගු හතරක් වරින් වර හිමි වූ අතර තෙවන සහ සිව්වන වරට සේවා දිගු ලබා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කළත් ඒ සඳහා ව්‍යවස්ථාදායක සභාවෙන් අවසර හිමි වුයේ නැහැ.

මේ අතර, පොලිස්පති වශයෙන් පත්වන නිලධාරියාගේ ධුර කාලය උපරිම වශයෙන් අවුරුදු 3කට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, පොලිස්පති තනතුරට පත්වන නිලධාරියාට එදින සිට වසර තුනක් තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම් ඉහත තීරණය එම නිලධාරියාට අදාළ වනු ඇත.

ශ්‍රී ලංකාව් වඩාත්ම අභියෝගාත්මක පොලිස් පරිපාලන ප්‍රදේශය වන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් හෙවත් T. M. W. D. තෙන්නකෝන්, පොලිස් සේවය වෙත එක්වී ඇත්තේ 1998.02.23 වන දිනයි.

ඔහු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලැබ තිබුණේ 2019.11.20 දිනයි.

ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත්තේ 2031.03.07 දිනයි.

සහකාර පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් පොලිස් සේවයට බැදුණු තෙන්නකෝන්, දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක භාරව කටයුතු කර, 2006 දී, පොලිස් අධිකාරී නිලයට උසස්වීම් ලබා, සිය මුල්ම කොට්ඨාස භාර පත්වීම ලබන්නේ නුවරඑළියටයි.

පොලිස් අධිකාරී නිලයට උසස්වීම් ලැබ, දින 05 කින් කොට්ඨාස භාර නිලධාරියෙක් ලෙස පත්වීම් ලැබ, එතෙක් මෙතෙක් පොලිස් ඉතිහාසයේ වාර්තා පොත් අතරට එක්වන්නේ, එවකට පොලිස්පති වික්ටර් පෙරේරාගේ දැඩි අවධානය හා විශ්වාසයට පාත්‍ර වෙමිනි.

නුවරඑළිය කොට්ඨාසයෙන්, ශ්‍රී ලංකාවේ තවත් අභියෝගාත්මක පොලිස් කොට්ඨාසයක් වන නුගේගොඩ කොට්ඨාසය භාර පොලිස් අධිකාරී වශයෙන් පත්වන ඔහු, මිරිහානේ පිහිටි ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්‍යාලයේ සිට නුගේගොඩ පොලිස් කොට්ඨාසය සිසාරා ප්‍රජා පොලිස් ඒකක පිහිටුවන්නේ, එවකට පොලිස්පති වික්ටර් පෙරේරාගේ සංකල්පයක් මතය.

2011 වසරේදී, ජේෂ්ඨ පොලිස් අධිකාරී නිලයට උසස්වීම් ලද තෙන්නකෝන්, නුගේගොඩට සමුදී, මාතර කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා වශයෙන් පත්වීම් ලැබුවා.

වර්ෂ 2015 දී, සිය නියෝජ්‍ය පොලිස්පති උසස්වීම ලබන්නේ වන්නි දිසාව භාරවයි.

වන්නි දිසාවේ සිට, පොලිස් පරිපාලනයේ තවත් අභියෝගාත්මක දිසාවක් වන බස්නාහිර – උතුරු දිසාව භාරව හා අපරාධ /අපරාධ බුද්ධි තොරතුරු දිසාව හා ප්‍රජා පොලිස් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද ඉතා ක්‍රියාකාරී ලෙස රාජකාරි ඉටුකල නිලධාරියෙක්.

පොලිස් සේවයේ වසර 25 ක් සම්පූර්ණ කොට, සුවිශාල අත්දැකීම් පරිචයක් ලබා ඇති ඔහු, කොළඹ නාලන්දා විද්‍යාලීය ආදී සිසුවෙක් වන අතර එසේම ඔහු, කැළණිය සරසවියේ උපාධිධාරියෙක්.

COMMENTS