කථානායකගෙන් විශේෂ දැනුම්දීමක්

කථානායකගෙන් විශේෂ දැනුම්දීමක්

පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් පිළිබඳව කථානායකවරයා විසින් අද (20) දින විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුවයි.

කථානායකවරයා සඳහන් කර සිටියේ කාරක සභා පැවැත්වෙන අවස්ථාවේ දී වෙනත් කිසිදු භාහිර පුද්ගලයෙකුට එම රැස්වීම් කාමර තුළට ඇතුළු විය නොහැකි බවයි.

කාරක සභා සභාපතිවරුන් තමන්ගේ විෂය සීමාව ඉක්මවා කාරක සභාවේ වැඩ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් තමා වෙත විවිධ අවස්ථාවල දී කරුණු වාර්තා වී ඇති බව පැවසු කථානායකවරයා පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් පුරා පැවති සාම්ප්‍රදායන් ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සියලුම කාරක සභා සභාපතිවරුන් ස්ථාවර නියෝග අනුව බැඳී සිටින බව ද අවධාරණය කළා.

පාර්ලිමේන්තු නිලධාරින්ට අමතරව කාරක සභා සභාපතිවරුන් විසින් වෙනත් අයෙක් කාරක සභාවේ වැඩ කටයුතු සඳහා ගෙන්වා ගන්නේ නම්, ඒ සඳහා තමාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගත යුතු බව ද කථානායකවරයා පැවසුවා.

කාරක සභාවල වැඩ කටයුතු කරගෙන යන අවස්ථාවේ දී විවිධ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත හෝ නොවන ආයතනවල රජයේ නිලධාරීන් කැඳවීමේ දී ඔවුන් අපහසුතාවයට පත් නොවන අයුරින් සහ අදාළ කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා පමණක් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමටත් වගබලා ගන්නා ලෙස කථානායකවරයා මෙහිදී දැනුම් දුන්නා.

නිල ලිපි කිසිදු අවස්ථාවක දේශපාලන හෝ පෞද්ගලික කාර්යයන් සඳහා භාවිත නොකළ යුතු බව කථානායකවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

COMMENTS