ජනාධිපති සිනමා සම්මාන උළෙල (Photos)

ජනාධිපති සිනමා සම්මාන උළෙල (Photos)

ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරය අතික්‍රමණය කළ යුතු බවත් ඒ වෙනුවෙන් නව තාක්ෂණයට ගැළපෙන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව ඇතුළු ඊට අනුබද්ධ සියලුම ආයතන ප්‍රතිසංවිධානය කිරීමට රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ පෙරේදා (14) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති 2023 ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා කලා නිර්මාණවලින් “වාරණය” යන වචනය ඉවත් කළ යුතු බවද අවධාරණය කළා.

ජනාධිපති සිනමා සම්මාන උළෙල මෙවර සංවිධානය කෙරුණේ වසර තුනකට පසුව වීම විශේෂත්වයකි.

2019 සහ 2020 යන වර්ෂයන්හි ප්‍රදර්ශිත චිත්‍රපට 42ක් පාදක කරගනිමින් ප්‍රවීණ සිනමා විචාරකයින් සහ සම්මානිත ආචාර්ය මහාචාර්යවරුන් 7දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් විසින් තෝරාගන්නා ලද රංගන හා කාර්මික ශිල්පීන් වෙනුවෙන් සම්මාන 44ක් ද, සාම්ප්‍රදායිකව පිරිනැමෙන විශේෂ සම්මාන 09ක් ද පිරිනැමීම සිදු කෙරුණා.

මෙහිදී 2020 වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙස ආචාර්ය නන්දා මාලනී මහත්මිය සම්මානයක් පිදුම් ලැබූ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රේක්ෂකාගාරයේ නන්දා මාලනි මහත්මිය සිටි ස්ථානයට ගොස් සම්මානය පිරිනැමීම සුවිශේෂී සිදුවීමක් වුණා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ 1963 වසරේ සරසවි සම්මාන උළෙලේදී ආචාර්ය නන්දා මාලනිය ශ්‍රී ලංකේය සිනමාවේ පසුබිම් ගායනය වෙනුවෙන් මෙලෙස සම්මානයක් පිදුම් ලැබූ බවත්, තමාට ද එම අවස්ථාවට සහභාගීවීමට අවස්ථාව හිමි වූ බවත්ය.

ශ්‍රී ලාංකීය සිනමාව සහ සංගීත ක්ෂේත්‍රය උදෙසා ආචාර්ය නන්දා මාලනි මහත්මිය විසින් ලබාදුන් දායකත්වය වෙනුවෙන් සමස්ත ජාතියේම ගෞරවය සහ ප්‍රණාමය මෙන්ම ස්තූතියි ද හිමිවන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

සිනමාව උදෙසා විශේෂ කාර්යයක් ඉටු කිරීම වෙනුවෙන් පිරිනමන “යුග අභිමානී” විශේෂිත සම්මානය කේ. ගුණරත්නම් මහතා අනුස්මරණය කරමින් පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර චන්ද්‍රන් රත්නම්, සුවිනීතා වීරසිංහ සහ සිරිල් වික්‍රමගේ යන මහත්ම මහත්මීන් වෙනුවෙන් “ස්වර්ණසිංහ” සම්මාන පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු වුණා.

2019 වසරේ හොඳම නළුවා ලෙස කමල් අද්දරආරච්චි මහතාත්, 2020 වසරේ හොඳම නළුවා ලෙස කුමාර තිරිමාදුර මහතා ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර වුණා.

2019 වසරේ හොඳම නිළිය ලෙස සමාධි ලක්සිරි මහත්මිය සම්මානයට පාත්‍ර වූ අතර 2020 වසරේ හොඳම නිළිය ලෙස නීටා ප්‍රනාන්දු මහත්මිය සම්මාන ලබා ගත්තා.

2019 වසරේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් අනුරුද්ධ ජයසිංහ මහතා වෙනුවෙන් සහ 2020 වසරේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් විසාකේස චන්ද්‍රසේකරම් මහතා වෙනුවෙන් සම්මාන පිරිනැමූ අතර 2019 වසරේ හොඳම චිත්‍රපටය ලෙස “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටිය සම්මානයට පාත්‍ර වුණා.

එමෙන්ම 2020 වසරේ හොඳම චිත්‍රපටය ලෙස “The newspaper” චිත්‍රපටිය සම්මානයට පාත්‍ර වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.