ඉන්ධන මිල ඉහළ යාමක් ගැන ජනපතිගෙන් ඉඟියක්

ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ දැනට පවතින ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරමින් දීර්ඝකාලීන ඉන්ධන මිල ඉහළ යාමකට ඉඩ තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඊයේ (09) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ මෙම අර්බුදය මගින් ගෝලීය ඉන්ධන මිල මත දැඩි බලපෑමක් සිදු විය හැකි අතර පෙට්‍රල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවයි.
එමෙන්ම ලබන වසරේ පෙබරවාරි මාසයේ අග සිට නැවත ඉන්ධන මිල අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් මෙම අර්බුදය මගින් තවදුරටත් ඉන්ධන හිඟයක් ඇති කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා
මීට අමතරව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ඊශ්‍රායලයේ සිදු වූ මෑත කාලීන ප්‍රහාර සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ඊශ්‍රායල ජනතාවට එමගින් ඇතිවී තිබෙන බලපෑම් පිළිබඳ තම දැඩි අවධානය යොමුව තිබෙන බවයි.
ඒ අනුව ඔවුන් පිළිබඳ සොයා බලා ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසයි විදේශ කටයුතු අමාත්‍යාංශයට එහදී උපදෙස් ලබා දී ඇත්තේ.
මීට අමතරව සංචාරකයින් සහ සේවකයින් ලෙස මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට නැවත සිය රට බලා යාමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත්, ශ්‍රී ලංකාව තුළ ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙසත් ජනාධිපතිවරයා පොලිස් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.
ඊශ්‍රායලය සහ පලස්තීනය යන ද්විත්ව රාජ්‍ය සංකල්පයට ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහයෝගය යළිත් තහවුරු කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයාල සිවිල් ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි කරමින් පලස්තීනයේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය ශ්‍රී ලංකා රජය විසින් හෙළා දකින බව ද එහිදී ප්‍රකාශ කළා.