දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ඥාතීන්ට භාරදෙන ලෙසට නියෝගයක්
අබිරහස් ලෙස මිය ගිය ව්‍යාපාරිකයකු වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ ගොඩගත් දේහය ඔහුගේ පවුලේ අයට භාරදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළා.
ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයකු වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය යළි ගොඩ ගැනීම සිදු කෙරුණේ මීට සිවු මසකට කලින්.
ඔහුගේ දේහය යළි ගොඩ ගැණුනේ මෙම මරණය සම්බන්ධයෙන් අබිරහස සෙවීමට දේහය යළි ගොඩගැනීම අවශ්‍ය බවට පංචපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය අධිකරණයට කළ දැනුම් දීමකට අනුවයි.
පසුගිය දෙසැම්බර් 15 වනදා ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල කනත්තේ සිය මෝටර් රථය තුළ ආසාද්‍ය තත්ත්වයේ සිටියදී රෝහල්ගත කිරිමෙන් අනතුරුව මිය ගියා.
අත් පා ගැට ගසා සිටියදී සොයා ගත් ඔහු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ද එදිනම රාත්‍රීයේදී මිය ගොස් තිබුණා.
අද වන විට එම මරණය සිදු වී මාස 9ක් ගත වුවද ඊට වගකිව යුත්තේ කවුරුන් ද යන්න පිළිබදව තවමත් නිශ්චිත තොරතුරක් හෙළි නොවූ අතර කිසිදු සැකකරුවකු ද අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙනවා.
ඔහුගේ මරණය සිදුවු ආකාරය නිශ්චය කර ගැනීම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ස්වාධීන පංච පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කෙරුණ අතට එහිදී තීරණය කෙරුණේ සිරුර ගොඩට ගෙන පරීක්ෂණ කළ යුතු බවයි.
ගොඩගත් දේහය කරාපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගෙන එනු ලැබූ අතර අද තීරණය වුණේ දේහය දිනේෂ් ෂාෆ්ටර්ගේ ඥාතීන්ට භාර දෙන ලෙසයි.