“විසුම්පාය” සුපිරි හෝටලයක් වෙයි

“විසුම්පාය” සුපිරි හෝටලයක් වෙයි

රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ “විසුම්පාය” සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාල අවබෝධතා ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරිය සහ Azotels Hospitility limited ආයතනය නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී අද (07) අත්සන් තැබුවා.

ගිවිසුමට අත්සන් තැබුවේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් හා හොංකොන් Azotels Hospitility limited ආයතනයේ සභාපති ඒඩ්‍රියන් සෙචා (Adrian Zecha)යි.

විසුම්පාය ගොඩනැගිල්ල Azotels Hospitility limited ආයතනය වෙත වසර 50ක බදු පදනම යටතේ පවරා ඇත. Azotels Hospitility limited ආයතනය, හුනාස් හෝල්ඩින් පුද්ගලික සමාගම, ජපානයේ හවුල්කාර කොස්ටියුම් (Consortium) සමඟ මෙය සුපිරි හෝටලයක් ලෙස පවත්වාගෙන යනු ලබනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි පෞරාණිකත්වයට හානි නොවන ලෙස ආයෝජන සඳහා යෙදවීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වනවා.

විසුම්පාය ගොඩනැගිල්ල සුපිරි හෝටලයක් බවට පත් කරන්නේ එම වැඩසටහනේ යටතේයි.

රටේ තිබෙන ආර්ථික තත්ත්වය පදනම් කර ගනිමින් මෙවැනි පෞරාණික ගොඩනැගිලි පුද්ගලික හා පොදු හවුල්කාරීත්වය යන ක්‍රමයට නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් වියදම් නොකර සංවර්ධනය කිරීම මෙහි අරමුණයි.

පරිසර හිතකාමී ඉහළ මට්ටමේ බුටික් හෝටලයක් (Boutique Hotel) ලෙස මෙය සංවර්ධනය කෙරෙන අතර මෙහි ඉහළ මට්ටමේ සංචාරකයින් සඳහා නවාතැන් ගැනීම සඳහා සුඛෝපභෝගී කාමරද, පොදු ප්‍රදේශ හා අවන්හල්වලින් සමන්විත බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.

1835 අගෝස්තු 24 වන දින යටත් විජිත සමයේදී කොළඹ යුනියන් පෙදෙසේ ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල බොහෝ කලක් යනතුරු ලංකා රයිෆල් රෙජිමේන්තු නිලධාරීන්ගේ නේවාසිකාගාරය ලෙස භාවිත කර තිබුනා.