විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ කාලය 63 දක්වා දීර්ඝ කිරීමට එකඟ වෙයි

විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ කාලය 63 දක්වා දීර්ඝ කිරීමට එකඟ වෙයි

රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා එකඟ වී ඇති බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු ගොනුකර තිබූ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් යන විනිසුරුවරුන් හමුවේ අදාළ පෙත්සම සළකා බැලූ අතර, එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ එකඟතාව අධිකරණයට දන්වනු ලැබුවා.

එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිත අතර, එම එකඟතාව පෙත්සම්කාර පාර්ශවයට ලිඛිතව ලබාදීම සඳහා එම පෙත්සම හෙට කැඳවීමට නියමිතයි.

COMMENTS