ලෝක මව්වරුන්ගේ දිනය අදයි

ලෝක මව්වරුන්ගේ දිනය අදයි

ජාත්‍යන්තර මවුවරුන්ගේ දිනය අදට යෙදී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ ඇනා ජාවිස් නැමැත්තිය 1908 වසරේ මැයි මාසයේ දෙවැනි ඉරු දින සිය මව අනුස්මරණය කළ අතර පසුව ඇය එය රජයේ පිළිගත් නිවාඩු දිනයක් බවට පත් කිරීමට කටයුතු ආරම්භ කළාය.එහි ප්‍රතිඵලය වූයේ 1912 වසරේ සිට සෑම වසරකම මැයි මාසයේ දෙවන ඉරිදා දිනය ලෝක මව්වරුන්ගේ දිනය බවට සංකේතවත් වීමයි…

අදට යෙදෙන්නේ ලෝක මවුවරුන්ගේ දිනයයි. අම්මා වෙනුවෙන් දිනක් වෙන්වීම නම් හොඳය. එහෙත් අපේ අම්මාට එක දිනක් පමණක් සෑහේද? මහවැසි වැටෙද්දි පැලකුත් නැති හේනේ තමන් තෙමෙමින් දරුවා නොතෙමූ, තමන් කුස ගින්නේ සිටිමින් දරුවාගේ කුසගින්න නිවූ, සමාජයේ නින්දා අපහාස ලබමින් දරුවාගේ ලෝකය සොඳුරු කරවූ, දසමසක් කුස හොවා හරිහැටි නින්දක් නොලබා දරුවා ලොවට බිහිකර ලේකිරි කර පෙවූ උත්තරිතර ‘අම්මාට’ එක් දිනක් සෑහේද? බටහිර සමාජයේ නම් මවුවරුන්ගේ දිනයට අම්මාට සුබ පැතුම් පතක්, මල්කලඹක් හෝ වෙනත් කුමක් හෝ තෑග්ගත් ලැබේ. ඇතැම් විට ඊළඟ වසරේ මැයි මස දෙවනදා මව්වරුන්ගේ දිනය එළඹෙන තුරු දරුවන් අම්මා බලන්නට යන්නේ නැහැ.අපේ අම්මලාටත් මවුවරුන්ගේ දිනයට එයම සෑහේද?

එක දිනක් නොව අවුරුද්දේ දවස් තුන්සිය හැටපහම ඇය වෙනුවෙන් වෙන්කළ යුතුය. ඒ ‘අම්මා’ ඇගේ මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කළ නිසාවනි.එම නිසා ඔබේ මවට හා පියාටත් ඔබ ආදරය කරන්න ගෞරව කරන්න ඔවුන් ජිවත්ව සිටින තුරාවටම එහෙත් එය ලොවට පෙනෙන්නට නොව හදවතින්ම…

ලෝකයම අම්මාවරුන්ගේ දිනය සමරන අද (14) දවසේ, අපේ රටේ මව්වරුන් 6,215 දෙනෙකු වැඩිහිටි නිවාසවල දිවි ගෙවන බව, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය අනාවරණය කළේ ය.

එහි අධ්‍යක්ෂ කපිල ලැනරෝල් මහතා සඳහන් කළේ, ඒ අතරින් 5,781 දෙනෙකු පෞද්ගලික වැඩිහිටි නිවාසවලත්, 434 දෙනෙකු රජයේ වැඩිහිටි නිවාසවලත් දිවි ගෙවන බවයි.

දරුවන් වැනි සිතැඟි පවතින, වයෝවෘද්ධ මව්වරුන් වැඩිහිටි නිවාසවල මෙන්ම සිය නිවෙස් තුළ ද සිරගත වී ඇති තත්ත්වයක් නිරීක්ෂණය වන බව, කපිල ලැනරෝල් මහතා ප්‍රකාශ කළේ ය.

ඉතින්, දෙවියන් පවා නමස්කාර කරන ආදරණීය අම්මාවරුනි, ඔබ ලොව පහළ වූ අනර්ඝතම නිමැවුමයි.