මහින්දානන්දගේ ආධාරකරුවන් නාවලපිටියේදී ඩෙගා නටයි

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආධාරකරුවන් බව පැවසෙන දෙපිරිසක් අතර ඇති වූ බව කියන ගැටුමකින් තුවාල ලැබු තරුණයන් දෙදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා.
නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර මහතාට අයත් නාවලපිටිය හයින්පොඩ් ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඉකුත් (15) දින පස්වරුවේ සිංහල හින්දු අලුත් අවුරුදු සාදයක් පවත්වා ඇති අතර, එම සාදයට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහභාගී වී තිබෙනවා.
ගැටුමට ප්‍රථම මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම හෝටල් පරිශ්‍රයෙන් පිටව ගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ
ඉන් අනතුරුව තවදුරටත් සාදය පවත්වා ඇති අතර, එම සාදයට රජයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණයට සහයෝගය දැක් වූ අයෙකු සහභාගී වීමත් සමග දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන තිබෙනවා.
ගැටුමෙන් තරුණයන් දෙදෙනෙකුට තුවාල සිදු වී ඇති අතර, එම තරුණයන් දෙදෙනා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කෙරුණු බවයි පොලිසිය කියා සිටියේ.
ඉන් අනතුරුව එම තරුණයන්ගේ ඥාතින් තරුණයන් දෙදෙනාට පහර දුන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කර තිබෙනවා.


