විශිෂ්ට කාන්තාවන් දසදෙනෙකුට සම්මාන

විශිෂ්ට කාන්තාවන් දසදෙනෙකුට සම්මාන

ක්ෂේත්‍ර කිහිපයක දක්ෂතා දක්වමින් රටේ ප්‍රගමනයට දායක වූ විශිෂ්ට කාන්තාවන් 10දෙනෙකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (04) සම්මාන පිරිනමා තිබේ.

ඒ, ඊයේ (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති Wise Woman ජාතික වැඩසටහන වෙනුවෙනි.

ඒ අනුව මහාචාර්ය නිලීකා මලවිගේ, ආචාර්ය ආශා ඩි වෝස්, කස්තුරි විල්සන්, නිපුනි කරුණාරත්න, මෙලනි වගආරච්චි, පවිත්‍රා ගුණරත්න, රංගනා වීරවර්ධන, අයන්ති ගුණසේකර, නෙල්කා ශිරෝමාලා සහ තිලංකා අබේවර්ධන යන මහත්මීහු ජනාධිපතිවරයා අතින් විශිෂ්ඨ කාන්තාවන් ලෙස සම්මාන ලැබීය.

මෙරට කාන්තා ජනගහණ ප්‍රතිශතය 52%කි.

එහෙත් සමස්ත ජනගහණයේ කාන්තා ශ්‍රම දායකත්වය 30%ක් වැනි අඩු අගයක පවතින බව කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත.

කාන්තාවන් සඳහා නිපුණතාව සංවර්ධනය හා වෘත්තීය පුහුණුව ලබා දී, එමගින් ඔවුන් ජාතික ආර්ථිකයට දායක කර ගැනීම වැඩසටහනේ අරමුණයි.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය මගින් වැඩසටහන ක්‍රියාවට නැංවේ.