ශාපයක් දෝ දෙවියන්ගේ, ශාපයක් දෝ මිනිසුන්ගේ, අහිංසක තවත් මලක් නිරපරාදේ මිලින වේ

ශාපයක් දෝ දෙවියන්ගේ, ශාපයක් දෝ මිනිසුන්ගේ, අහිංසක තවත් මලක් නිරපරාදේ මිලින වේ

මුලතිව්, මූන්ගිල්ආරු ගම්මානයේ 12 හැවිරිදි යෝගරාසා නිදර්ශනා නමැති දැරියක ගැබිනියක බව දැනගත් පසු මාපියන් මැදිහත්වී දරු ගැබ විනාශ කරන්නට යාම නිසා අවාසනාවන්ත ලෙස ඇය මියයාමේ සිදුවීමක් හා අනතුරුව එය ස්ත්‍රී දූෂක ඝාතනයක් සේ හැඟවීමට කැලෑවට ගෙනගොස් දැමීමේ සිදුවීමක් ගැන වාර්තාවේ.

මුලතිව්, පුදුකුඩිඉරිප්පු පොලිසිය දැරියගේ මළසිරුර සොයාගැනීමෙන් පසු කරන ලද විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ, නීතිවිරෝධී ගබ්සාවක් සිදු කිරීමට යාමේ දී ඇය මියගොස් ඇති බවයි.

මාස දෙකක ගැබිනියක්ව සිටි අදාළ දැරියට පවුලේ පිරිසගේ අනුදැනුම මත අධිමාත්‍රා ඖෂධ ලබා දී දරු ගැබ ඉවත් කිරීමට යාමේ දී සිදු වූ අධික රුධිර වහනය වීම නිසා මෙම මරණය සිදු ව තිබෙනවා. දැරියගේ සහෝදරියගේ නිවසේ දී මෙලෙස ඇගේ දරු ගැබ ඉවත් කිරීමට උත්සාහ කර ඇති බව සඳහන්.

මෙම දැරියගේ වැඩිමල් සොහොයුරියගේ ස්වාමි පුරුෂයාගෙන්, දැරිය අතවරයකට ලක්ව ගැබිනියක් බවට පත් ව ඇති බවට යි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට මියගිය දැරියගේ මව, පියා, සහෝදරිය සහ ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

මියගිය දැරියගේ සිරුර පසුගිය 18 වන දා පොලිසිය විසින් සොයා ගැනුණේ මුංගිලාරු ප්‍රදේශයේම පාළු ඉඩමක දමා ගොස් තිබීයදීයි.

පවුලේ සියලු දෙනාගේ අනුදැනුම මත පසුගිය 15 වන දා මියගිය දැරියගේ සිරුර නිවස අසල පාළු ළඳකට දමා ඇති අතර, පසු ව එය 17 වන දා රාත්‍රියේ යළි ගොඩගෙන එම ප්‍රදේශයේම පාළු ඉඩමකට දමා තිබෙනවා.

ඉන් පසු නිවැසියන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසට යන බව පවසා නිවසින් පිටත්ව ගොස් ඇති බවටයි පොලීසියට අනාවරණ වී ඇත්තේ.