ගාලු කොටුවේ මාරක පිම්මට විකල්ප වැඩ පිළිවෙලක්

ගාලු කොටුවේ මාරක පිම්මට විකල්ප වැඩ පිළිවෙලක්

ගාල්ල කොටුවේ කොඩිගල සිට මුහුදට පනින ක්‍රියාවේ නිරත තරුණයන්ට ඒය තවදුරටත් පවත්වාගෙන යාම සදහා විකල්ප වැඩපිළිවෙලක් හදුන්වා දෙන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට උපදෙස් දෙයි.

පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු හේතුවෙන් වසර 15 ක් පමණ තිස්සේ එම ස්ථානයේ සිට මුහුදට පනින ක්‍රියාවේ නිරත තරුණයන්ට පසුගිය සිකුරාදා සිට එම ක්‍රියාවේ නිරත වීමට නොහැකි බව වාර්තා වි තිබිණි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වු වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කළ ඇමතිවරයා පුරාවිද්‍යා නිළධාරින් සමග ඊයේ (22) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

එහි දි අවධාරණය කෙරුණේ මෙම තරුණයන්ගේ මුහුදට පනින ක්‍රියාව සම්පුර්ණයෙන් ම නතර වි නොමැති බවයි. ඔවුන් ඉදිරිපත් කරන එක් පිම්මක් පමණක් අදාළ ස්ථානයේ ඉදිකර ඇති ගල් බැම්මක් හේතුවෙන් නතර වි ඇති බව මෙහි දි සදහන් කෙරිණි.

ගාලු කොටුවේ මෙම ස්ථානය කොඩිගල මුර අට්ටාලය ලෙස හදුන්වනු ලබන බවත්, ලන්දේසි සමයේ පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයක් සහ නැව් සදහා සංඥා සැපයිම සදහා භාවිතා කළ ස්ථානයක් බවත් පුරාවිද්‍යා නිළධාරීන් මෙහි දී කියා සිටියා.

මෑතක දී කල සංරක්ෂණ වල පැරණි ප්‍රදීපාගාරයේ පාදම හා කොඩිය රැද වූ ස්ථානය හමුව තිබෙනවා.

අදාළ කොඩිය රැඳවූ ස්ථානයේ ඇණ පවා මතුව ඇති බවයි පුරාවිද්‍යා නිළධාරින් කියා සිටින්නේ.

තරුණයන් එක් පිම්මක් සදහා දිවයන්නේ එම ස්ථානය හරහා බව ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී පෙන්වා දුන්නේ තරුණයන් කිපදෙනෙකු සිදුකරන මෙම මාරක පිම්ම ලංකාවේ පමණක් නොව ලෝකයේ ම ජනප්‍රිය බවයි.

ඒ නිසා අදාළ තරුණයන්ට එම ක්‍රියාව තවදුරටත් ආරක්ෂිතව කරගෙන යාම සදහා විකල්ප වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යැයි පුරාවිද්‍යා නිළධාරින්ගේන් ඇමතිවරයා ඉල්ලා සිටියා.