පාටි දාන්න බූස්ටර් ගහගන්න
උත්සව සමයට පෙර බූස්ටර් එන්නත ලබා දී අවසන් කරන්න ජනපතිගෙන් උපදෙස්.
- එන්නත නොගත් කිසිවෙකුට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් …
- කොවිඩ් ආසාදිතයන්ගෙන් ඉහළ ප්‍රතිශතය එන්නත නොගත් පිරිස …
- 16 – 19ත් අතර දරුවන්ට දෙවන මාත්‍රාව
- 12 -15ත් අතර දරුවන්ට පළමු මාත්‍රාව ලබාදීමට අවධානය …
- විදෙස් සංචාරකයන්ට පනවා තිබූ සීමා තවදුරටත් ලිහිල් කෙරේ …
එළැඹෙන උත්සව සමයේ දී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා අධි මාත්‍රා එන්නත (Booster) ඉදිරි දෙසතිය තුළ ලබා දී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට උපදෙස් දෙයි.
කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කරනු ලැබීය.
දෙවන මාත්‍රාව ද ලබාගෙන මාස 03ක් සම්පූර්ණ කළ සියලු දෙනා අධි මාත්‍රාව ලබාගැනීමට සුදුසුකම් සපුරයි. ඒ අනුව එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින් හෙට සිට දිනපතා අධි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ගැනීමට අවස්ථාව සැලසේ.
සිදු කළ නිරීක්ෂණයන්ට අනුව මේ දිනවල වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් ඉහළ ප්‍රතිශතය එන්නත නොගත් අය වන අතර, ඉන් බහුතරය තරුණ පිරිස බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පෙන්වා දෙති. කොවිඩ් ආසාදිතව අසාධ්‍ය වීම සහ මරණ සංඛ්‍යාව අවම කරගැනීමට එන්නත ලබාගැනීම අනිවාර්යයෙන් සිදු විය යුතු ය. මේ පිළිබඳ තරුණ පිරිස් දැනුවත් කර, කඩිනමින් එන්නත ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබිණ.
කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට එන්නත නොගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළු වීම වැළැක්වීම සඳහා මේ වන විට නීති උපදෙස් ගෙන තිබේ. එය සැලකිල්ලට ගෙන, ඉදිරියේ දී පොදු ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට කොවිඩ් කමිටුව අද තීරණය කළේය.
වයස අවුරුදු 16 – 19ත් අතර දරුවන්ට දෙවන මාත්‍රාව සහ 12 – 15ත් අතර සියලු දරුවන්ට පළමු මාත්‍රාව ලබාදීමට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සමග සැලසුම් කොට එන්නත ලබාදීමට කඩිනමින් කටයුතු කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් තිබේ. ගුවන් සමාගම් ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩිකර ඇත. සංචාරක ව්‍යාපාරයේ පවතින ප්‍රවර්ධනය සැලකිල්ලට ගෙන, පනවා ඇති සීමා තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
ජනාධිපති මාධ්‍ය අංශය